Sunday, October 25, 2015

73.සිංහල ලියන දෙමළ කොල්ලා



                  මාස කිහිපයකට පෙර රෝහලක වැඩ කරන මගේ යාළුවෙක් මාර්ගෙන් මට හරි අපුරු කොලු ගැටයෙක් මුණගැහුනා...මේ පුතාගේ නම සුසන්ත..මගේ යාළුවා විතරක් නෙවේ රෝහලේ ගොඩක් අය මේ පුතාට කරුණාව ,ආදරය දැක්වුවා...උපතින් ද්‍රවිඩ උනත් සිංහල අකුරු ලියන්න තමා මෙයාගේ වැඩි උනන්දුවක් තිබ්බේ ඉතින් හැමෝම මෙයාට සිංහල අකුරු කියලා දුන්නා..මේ පුතාට අවුරුදු 13ක් උනාට දෙමළ භාෂාව බැහෑ..සිංහල කතා කරන්න,ටිකක් ලියන්න පුළුවන්කමක් තිබුනත් ඉස්කෝලේ යන්න ඒ වෙනකොට බැරි අබාධයකින් මේ පුතා පෙළුනා..
පුතා ලියන අකුරැ

                                දවසක්  මගේ යාළුවයි මමයි වටේ පිටේ විස්තර කතා කර,කර ඉද්දී යාළුවා මට ඒ පුතා ඇන්ද චිත්‍රයක් වයිබරෙන් එව්වා මට ඒ චිත්‍රය දැකලා හරි පුදුම හිතුනා... ඒ දරුවට ඉගෙනීමට දක්ෂකමක් වගේම චිත්‍ර අදින්න උනන්දුවක් තියෙන බව පෙනුන නිසාම මම මගේ යාළුවට කිව්වා අපි සුසන්තට පාට පෙට්ටියකුයි,චිත්‍ර පොත් ටිකකුයි අරන් දෙමු තව ඕන කරන මොනා හරි තිබුනොත් අරන් දෙමු කියලා...මට මතක විදිහට ඒ ජූනී මාසේ මුල වෙච්ච සිද්ධියක්.....


පුතාගේ  
චිත්‍රයක්
                ටික දවසක් යද්දි මට ඕන උනා මේ පුතාගේ ජීවිත කතාව දැන ගන්න ඉතින් මට ලංකාවට යන්න බැරි එකේ මගේ යාළුවා මාර්ගෙන් මට සුසන්ත පුතාගේ විස්තර දැන ගන්න පුළුවන් උනා... සුසන්ත උපතින් ඇවිදින්න බැරි දරුවෙක්... මේ පුතා ඉපදෙද්දිම අම්මා සුසන්තව දාලා වෙන කෙනෙක් එක්ක ජීවිතේ පටන් ගන්න ගිහින් සුසන්තගේ තාත්තා කසාදයක් කරගෙන... සුසන්ත ලොකු වෙන අතර තුර කුඩ අම්මා සුසන්තට මල්ලියෙක් ගෙනැවිත්(හැබැයි සුසන්තට කුඩ අම්මා ගෙදරදි කොහොම සලකනවද කියන්න අපි දන්නේ නෑ ඒත් රෝහලට බලන්න එන්නේ කුඩ අම්මයි,
මල්ලී ,ආච්චිලු)ඔහොම ඉද්දි කුඩ අම්මා ආයෙමත් මාස කිහිපයක දරු ගැබක් කුසේ දරන් ඉන්න කාල වකවානුවක සුසන්තගේ තාත්තා ආරව්ලකදි පිහි ඇනුමකින්  සදහටම සුසන්තලගෙන් සමු අරන්.... මේ කතාව අහලා ඉවරවෙද්දි හිතට දැනුනේ සුසන්ත වෙනුවෙන් යමක් කල යුතුමයි කියලයි....
                             ඒ අනුව මේ පුතාගේ ජීවිතේ එක අඩියක් හරි ඉස්සරහට යන්න අත්වැලක් වෙන්න හිතුන නිසාම මම මගේ යාළුවට කිව්ව අපි සුසන්තගේ උප්පැන්නේ ඉල්ලගෙන එකවුන්ට් එකක් අරිමු කියලා...යාළුවා ටික දවසකින්
සුසන්තට ජිවිතේ ඉදිරියට යන්න,ඉගෙන ගන්න පාසැලකට යවන්න ලැස්ති වෙන බවත් ඊට අවශය්‍ය රෝද පුටුව ලැබෙන තුරු රෝහලේ නැවති ඉන්න බවටත් ඔත්තුවක් දුන්නායින්...මට ඕන උනා පුතාගේ පාසැලට අවශ්‍ය‍ය කලමනණා ටික අරන් දෙන්න...ඊට පස්සේ මම යාළුවාට කිව්වා සුසන්ත පුතාට ආස කරන දෙයක් තියේ නම් අරන් දෙමු කියලා...මේ කොල්ලා ඉල්ලපු දේවල් ඇහැව්වොත් පුදුම හිතෙයි...

"මිස් මට උණුසුම් බෝතලයක් තිබුනොත් හොදයි,උණුවතුර අරන් ඕන වෙලාවට තේ හදාගෙන බොන්න පුළුවන්"

"මිස්,මට තේ ගොට්ටක් තිබුනත් හොදයි"

මිස් ,මට අව්වේ යනකොට කැප් එකක් තිබුනොත් හොදයි(ඒ වෙනකොට කැප් එකකට ආසවෙන් හිටියත් කැප් එකක් තිබිලා නෑ)

ඊට දවස් දෙක තුනකට පස්සේ මගේ යාළුවා හොයන් ආව සුසන්ත මෙහෙම කිව්වලු

"මිස් ,අර ලිස්ට් එකට කිරි පැකට් එකක් දා ගන්න බැරිද?"කියලා..

            දරුවන් මොන තරම් නම් අහිංසකද නැති බැරිකම් ඉස්සරහ කොයි තරම් අසරණද කියලා මට හිතුනා...
                 මේ කතාවේ හොදම හරිය දැන් .....මගේ යාළුවා...අපි දැන අදුන ගත්තේ කළු සුදු ලියන ඇන්ටී නිසා...අපේ යාළුකම විශ්වාසෙත් එක්ක ගොඩ නැගිලා අවුරුද්ද සම්පුර්ණ වෙන්න මාස 5ක් තියෙද්දි නොදන්න කෙනෙක්ගේ එකවුන්ට එකට මුදල් දානවා කියන අවදානමක් මට නොහැනුනේ ඇයගේ අව්‍යාජකමක් සියලු කටයුතු වලදී පිළිබිඹු උන නිසා වෙන්න ඇති...
                          මමයි,යාළුවයි වයිබරයෙන් සම්බන්ද වෙලා  පොත් කඩ පීරුවා,බෑග් කඩ පීරුවා,කැප් කඩ පීරුවා මගේ යාළුවගේ මහන්සියේ ප්‍රථිඵලයක් විදිහට අපි එක දෙයක් හැරෙන්න අනික් හැම දේම අර ගත්තා..ඉතිරි මුදලට අපි පැම්පස් පැකට් එකකුත් ගත්තා... මේ පුතාගේ ආබාධය අනුව පැම්පස් අවශ්‍යයි...ඔව් ඒ
නොගත්තේ සපත්තු දෙකක්...රෝහලෙන් විශේෂ සපත්තු දෙකක් පිළියෙල කරල දේවි කියලා මගේ යාළුවා කිව්වා ඇරත් ඒ දරුවට සපත්තු දාන්න අපහසු වෙයි කියල අපි හිතුවා...ඒත් විශේෂ සපත්තු කුට්ටමක් මිලදි ගන්න ඕන කරන මුදල දෙන්න මම හිතා ගත්තා....
                   අපි විශේෂ දවසක මේ පුතාට ගත්ත දේවල් දෙන්න පුන පුනා බලන් හිටියා ඔව් ඒ දවස උදා උනා... ඒ මගේ 28 වෙනි උපන් දිනය දවස.... හරියටම ජූලී 24 උදෙන්ම මගේ යාළුවා ,කූවාටස් එකේ අල්ලපු කාමරේ අක්කත් එක්ක එකතු වෙලා පොත් බෑග් එකයි අනිත් දේවලුයි ගිහින් දීලා.... එදා මම උදේ ඇස් අරිනකොට මගේ ජීවිතේ ගෙවෙන ලස්සනම උපන්දින තෑග්ග හම්බෙලා තිබුනා...මේ පුතා මට උපන්දින සුබ පැතුමක් හදලා...මට උදෙන්ම විශ්කලා...ස්තූති කලා....කාගේ හරි ඇස් පාදනවට වඩා සතුටක් කොහෙද මේ ලෝකේ තියෙන්නේ......"පුතේ ඔයාට හොදට චිත්‍ර අඳින්න පුළුවන් ,හොදට අඳින්න,ඉගෙන ගන්න...ඕන දෙයක් තියේ නම් x මිස්ට කියන්න" කියලා කවදාවත් නොලබපු සතුටක් උණුහුමට පපුවට එකතු කරන්...ඒ දවස නිම කලා....



පුතා අලුත් කැප් එක දාගෙන





පුතා සතුටින් අලුත් පොත් බෑග් එක්ක
                   



ඒ පුතා දුන්න උපන්දින පැතුම

                   ඊට දවස් ගානකට පස්සේ කොල්ලා අසනීප වෙලා බඩේ අජීරනයක් හැදිලා... වැසිකිලි යන්න කොල්ලට දැනීමක් තිබ්බත් සාමාන්‍ය මිනිස්සු තරමට දරා ගැනිමේ හැකියාවක් නෑ .... ඒදා අපි දුන්න පැම්පස් කොල්ලට ප්‍රයෝජනවත් වෙලා.....
       කොල්ලට ඩොක්ට කෙනෙක්ගේ යාළුවෙක් රෝද පුටුව දීලා.... ඉස්කෝලේ යන ඇදුම් එහෙමත් ලැබිලා....දැන් කොල්ලා අලුත් පොත් පැන්සල් එක්ක අකුරු කරනවා.... ල


       දන්නවද ? එක රැපියලකින් ලෝකේ වෙනස් කරන්න පුළුවන් "මුදලට සතුට ගන්න බැරි උනාට ,මුදලින් සතුට උපයන්න පුළුවන් බව නැවත වතාවක් තහවුරැ කර ගත්තා....යාළුවගේ නම නොලිව්වේ ඒක එයාගේ ඉල්ලීමක් නිසා.... ඇය උපයා දුන් සතුටට ස්තූති නොකියාම බැහැ...
     උඹට ස්තූති!!!


Sunday, October 18, 2015

72.මා දන්නා ඉතිහාසය-------5 වන කොටස( පෙර අපර දෙදිග වෙළෙද සම්බන්ධතා )

67.මා දන්නා ඉතිහාසය-------4 කොටස( ගල්වඩු කලා ශිල්ප || ,වෙදකම )=‍මෙතනට ක්ලික් කර කලින් ඉතිහාස ලිපිය කියවන්න...
             
                  ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ රටවල් සමග ආර්ථික, දේශපාලන, ආගමික හා සංස්කෘතික සම්බන්ධතා පැවැත් වු බවට බොහෝ සාක්ෂි ඇත.පුරාණයේ සිටම පෙර අපර දෙදිග වෙළදාමේ ඉතා වැදගත් ස්ථානයක් වුයේ ශ්‍රී ලංකාවයි.යුරෝපය ඇතුලු අපර දිග රටවල් සමගද චීනය,ඉන්දියාව වැනි පෙර දිග රටවල් සමගද වෙළෙඳ ගණුදෙනු පැවැත් වු බවට තිබෙන සාධක නිසා ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල් සමග විදේශ සම්බන්ධතා පැවැත් වු බව සනාථ වේ.
          චීනය ඇතුලු පෙරදිග රටවල සිට මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ජේඩ්,සේද,පිඟන් ආදී වෙළද භාණ්ඩ රැගෙන ආ නැව් පහසුවෙන් අප රටට ඇතුලු වු අතර අනෙක් අතින් යුරෝපයේ සිට මධ්‍යදරණී රටවල් හරහා ගොඩබිම් මාර්ග ඔස්සේ පබළු හා ඖෂධ වැනි වෙළද භාණ්ඩ රතු මුහුද සහ පර්සියක් බොක්ක හරහාද ඉන්දියාව හරහා ද අප රටට ගෙනත් ඇත.
               වෙළදාම සඳහා පිරිස් මුලින්ම පැමිණ ඇත්තේ ඉන්දියාවට බව විශ්වාස කෙරේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී ඉන්දියාවට පැමිණී කොස්මස් එකල මෙරට පැවති වෙළඳාම පිළිබඳව විස්තර කරමින් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සෑම ප්‍රදේශයකින්ම ද පර්සියාව,ඇල්බිසීනියාව ආදී රටවලින්ද වෙළඳ නැව් පැමිණි බව දක්වා ඇත. 1 වන විජයබාහු රජු දවස බුරුමය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා පැවති බවත් බොහෝ සාර වු ධන සමුහයක් බුරුම රටට යැවු බවත් විසිතුරු වස්ත්‍ර,සුවඳ විලවුන් හා කපුරු ආදී වු නොයෙක් වස්තූ පිරවු නැව් ශ්‍රී ලංකාවේ තොටුපොළවල් වෙත ළගා වු බවත් වංශකථාවලින් හෙළිදරව් වේ.

එකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් පහත රෑපයෙන් දැකවේ....
             •මාතොට
             •ගෝකණ්න
             •දඹකොළ පටුන
             • ඌරාතොට
             •දේවනගර
             • ගොඩවාය

ඉහත වරායක් වලට රෝම,පර්සියානූ,අරාබි,ඉන්දීය,චීන හා මැලේ ආදී වෙළඳ නැව් පැමිණ ඇත.
    
                  චීනය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබදතා පවත්වාගෙන 
ඇති අතර එකල චීන වෙළදුන් මෙරටට ගෙනා චීන පටපිළි වර්ග ලංකාවේදී පර්සියානු වෙළෙඳුන්  විසින්  චින්නුන්ගෙන් මිලට ගෙන රෝමයට ගෙන ගොස් යුරෝපිය වෙළඳුන්ට අලෙවි කර ඇත.චීන වංශ කථා අනුව ශ්‍රී ලංකා දූත කණ්ඩායම් වරින්වර මෙහි සිට චීනයට ගොස් ඇති අතර මොහුන් විසින් මුතු,මැණික්,ඇත් දත් හා ආභරණ ආදී භාණ්ඩ චීනයට ගෙන යනු ලැබූ බව සඳහන් වේ.චීන ජාතික පාහියන් හිමි ක්‍රි.ව. 411 දී පමණ ලංකාවට පැමිණ ඇත්තේ මෙම සම්බන්ධතා වල ප්‍රතිඵලයක් ලෙස යැයි විශවාසයක් ඇත.
                    පුරාණයේ ශ්‍රී ලංකාව  සමඟ වෙළඳ සම්බන්ධතා පැවැත් වු රටවල් අතර රෝමයද වැදගත් වේ. ක්‍රි. ව. පළමු වන සියවසේ සිට පස් වන සියවස දක්වා කාලය තුල රෝම වෙළඳුන් වෙළඳාම සදහා ලංකාවට පැමිණ ඇති බව පැරණි පොත පතේ සඳහන් වේ...භාතිකාභය රජු රෝමයෙන් රතු කොරල් ගෙන්වා ගැනීමත් මාතොට,දෙව්නුවර, කල්පිටිය ආදී තොටුපොළවලින් සහ අනුරාධපුර,මිහින්තලය හා සීගිරිය වැනි ප්‍රදේශවලින් රෝම කාසි හමුවීමත් ඊට නිදසුනක් ලෙස දැක්විය හැකිය.

එකල වෙළඳ සබදතා පැවැත්තු වෙළඳුන් ශ්‍රී ලංකාව හැදුන්නූ නම්....
             •ග්‍රීකවරු- තැප්‍රොබෙන්
             •අරාබිවර්ය්- සෙරන්ඩිබ්
             •ඉන්දියානුවන්- තම්බපණ්ණී, රත්නදීප
             • ක්‍රි.ව. 2 වන සියවසේ දී ග්‍රීක ජාතික ටොලමි විසින් අඳින ලද ලෝක සිතියමේ ශ්‍රී ලංකාව "තප්‍රොබානා" යනුවෙන් සඳහන් කර ඇත.


ශ්‍රී ලංකාව සමඟ විවිධ රටවල් පැවැත් වු විදේශ සබඳතා වර්ධනය වීමට  ශ්‍රී ලංකාවේ  භූගෝලීය පිහිටීම බලපා ඇත ..එය මෙසේ දැක්විය හැක.....
                     •ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටීම.
                     •ඉන්දියාවට ආසන්නව එහෙත් ඉන්දියාවෙන් වෙන්ව පිහිටි දුපතක් වීම.
                      •පෙර අපර දෙදිග සම්බන්ධ වු මුහුදු සේද මාවතේ කේන්ද්‍රස්ථානයක 
පිහිටීම.
                       •මෝසම් සුළන් ආශ්‍රිත දියවැල් ගලායන මාර්ගයේ පිහිටීම
                       • ස්වාභාවික වරායන් හා තොටුපොළවල් රාශියකින් යුක්ත වීම.
                       •ඉන්දියාව,චීනය,ග්‍රීසිය,රෝමය,ඊජිප්තුව වැනි පැරණි ශිෂ්ටාචාර පැවති රටවලට සාපේක්ෂව  මධ්‍යගතව පිහිටිම.

      -සේද මාර්ග සිතියම-

Thursday, October 15, 2015

71.මගේ හිත හා තෙවන ඇස 2


පහුගිය කාලය පුරාවට තෙවන ඇසට හසු කර ගත් හිත ගත්ත පින්තූර ටිකක් බෙදා ගන්න හිතුනා...බලන්නකෝ කොහොමද කියලා....ලංකාවේ හා ඉතාලියේ ගත් පින්තූර එකතුවක්.... මගේ හිත හා තෙවෙනි ඇස පලමු පින්තූර එකතුවට මෙතනින් ඇතුල් වන්න ---->මලේ හිත හා තෙවෙනි ඇස 1

       "සිංහ ප්‍රේමය"




        " ආණමඩුව තලාකොල වැව පන්සල"




"හිදි පිළිමය- ඇතාගල"


      "පරිණත වීම""
  

     "වියැකී යෑම""


    "කිනිහිර"


      "නගර සෝබනී"


    "රාත්‍රිය හා ආලෝකය"


  "මරණය"


   "අදුරට ආල කරන ආලෝකය"


   "අලංකාර විෂ හතු"


"මුදුව හා මෘදුව"


   "තනි වීම"


     "අම්මා"




          "අව්ව තපින බෙල්ලා"


  "හරිත"


    " කළු සුදු නගර පැනොරාමය"


  "ඇස්"


  "නිදහස"


   ස්පාන්චී කෘමියා"


  "කැලෑ මල්"


    "චමත්කාර හුදකලාව"


  "වීදී කොනේ ,ගිමන් හරින දෙපා"

    "මුහුදට පෑයු සද"


 "නගරයේ කොනක"

      "නිල්-සුදු-කළු"


Tuesday, October 6, 2015

70. අක්කා කෙනෙක් කියන්නේ "කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක්...."


            
මල්ලී කෙනෙක් ,
නංගී කෙනෙක්  කියන්නේ
අක්කා කෙනෙක්ට මහා මෙරක්....
අක්කා කෙනෙක් කියන්නේ,
මල්ලී කෙනෙක්ට,
නංගි කෙනෙක්ට
 "කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක්...."


              මමයි ,අක්කයි කියන්නේ බොහොම ටික කාලයක් එකට හිටිය දෙන්නෙක්..... අක්කට අවුරුදු 16වෙනකම් මට අවුරුදු 12 වෙනකම් අපි එකට ඉස්කෝලේ ,ආවා -ගියා ,කෑවා-බිව්වා...එකම කාමරේ ඇදවල් දෙකක් ලං කරලා එක නෙට් එකේ නිදා ගත්තා,රෑට හොල්මන් හීන දැක්කම අක්කගේ පොරවන රෙස්දෙන් අල්ල ගත්තා,තාත්තා ගෙනාව පොඩි රේඩියෝවෙන් එළි වෙනකම් සින්දු ඇහැව්වා, රන්ඬු කලා,ගහා ගත්තා,ඇඬුවා, හිනා උනා ,හොර වැඩ කලා........ඒ කාලේ ආයේ එන්නේ නෑ කියලා හිතන වාරයක් ගානේ පිච්චිලා යන හිතත්, තෙත් වෙලා යන ඇසුත් හරි,හරියට ලෝකෙන් හංගන්න  දෙන ෆයිට් එක දන්නේ මං විතරක් වෙන්න ඇති...
            ඉස්සර අක්කයි ,මායි කියන්නේ නුලයි සරුංගලෙයි වගේ...අක්කා කොහෙද යන්නේ මාත් පස්ස පාරේ...මම කොච්චර එයාට ගහලා ඇද්ද ඒ එක දවසකවත් එයා මට පාරක් ගැහැව්ව මතකයක් නෑ..එයා මට ආදරේ ඇති ඒත් කවදාවත් ඒ ආදරේ පෙන්නුවේ නෑ...මං එයාට ආදරේ කලත් මං කවදාවත් කියලත් නෑ...සමහර විට මේ ලියන සටහන අපිලිවෙලට ලියවේවි...අම්මා,තාත්තා තරම් අක්කා ගැන ලියන්න මට ලේසි නෑ...අපේ මතකය හරි පොඩ්ඩයි ඒකත් අවුරුදු 16යකට කලින් මතකයක් විතරයි...
                      ඒත් මතක් කරලා,මතක් වෙන හැමදේම අපිළිවෙලට හරි ලියලා හිත නිදහස් කර ගන්න ඕනේ.....උඩ පින්තූරයේ ඉන්නේ අක්කගේ සුදු දුව එයාගේ මල්ලිව බලා ගන්නවා ඔය පින්තූරේ අක්ක එවපු හැටියෙම මට මතක් උනේ අම්මා කියපු කතාවක්....මම ඉපදුන අලුත දවසක් රෑ හොදටම අකුණු ගහලා වහිනවලු අම්මා අක්කට මාව බලා ගන්න දිලා උයන්න ගිහින් අක්ක මට අකුණු වැදෙයි කියල බයට මාව තුරුල් කරන් ඉදලා අම්මා එද්දී...ඒ ආදරේ දැනුත් තිබුනා නම් කියලා හිතෙනවා....අපි එකම මහද්වීපේ රටවල් දෙකක..පාරවල් දෙකක....පේන මානයක අපි මුණ ගැහෙන හංදියක් නැති තරම්....අපි සෑහෙන්න දුරක් අපි නැතුව ඇවිත් කියලා දැන්,දැන් මට හිතෙනවා....හිතේ මහා හිස්කමක් මුසල විදිහට ඇඳිලා......සමහර විට මම සංවේදි වැඩි ඇති ඒ නිසා මට විතරක් මෙහෙම දැනෙනවා ඇති.....මේ ගිලිහෙමින් යන තත්පර, පැය, දවස්, සති,අවුරුදු බවට පත් වෙලා දවසක අපිට අපි නැතුවම යයි...ඒක ලෝක ස්වභාවේ.....ඒත් සල්ලි වලට අපි දෙන්නා අතර,අපේ පවුල අතර පවුරු පදනම් බදින්න අවකාශය තියෙන බව කලින්ම දැන ගත්තා නම් අපිට තිබුනා ධනවත් නොවි දුප්පත්කමින් පොහොසත් වෙන්න ...... මනුස්සකමින් පරිපුන් වෙන්න....
ඒත් ඒ හැමදේම සිතුවිලි විතරමයි....
              අක්කා දැන් අම්මා කෙනෙක් ,හොද බිරිඳක් සතුටින් ඉන්න කෙනෙක්....මම බලාපොරොත්තු උන තැන අක්කව හිතින් ඔසවලා තිබ්බ තැන එයා ඉන්නවා...ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද?අදටත් මම බනිද්දි කට පියාන කඳුළු එකතු කරාට දන්නේ නැතුව ඇති හොරෙන්,හොරෙන් මටත් මහා ගොඩක් කඳුළු වැටෙන බව.....
                            අයිතිකාරකමක් කියන්නේ කොහොමද අක්කා උඹට දැන් අයිතිකාරයෝ දෙන්නෙකුයි, අයිතිකාරියකුයි ඉන්න කොට.....තාක්ෂණ දෝෂ,කාල දෝෂ තිබුනට හිතේ දෝෂ නැතුවම අපි, අපිට ආදරෙයි....ඊයෙත්,අදත්,හෙටත් හිතේ හංගගෙන .......
                  _උඹේ නංගා_
                     

Friday, October 2, 2015

69. ගෙවි ගිය කාලය




                  මට බොහෝ දේවල් මඟ හැරි ඇත, "ගිය හකුරට අඬන පුරුද්දක් මට නැති නිසා මම මෙසේ ලියන්නට ආරම්භයක් සදහා පියවර තබමි.මාස නවයක් යනු දරුවෙකු බිහි කිරිමට ගත වන කාලයට සමාන කාලයකි.මේ කාලය තුල මම දැනුම නැමැති දරුවා බිහි කර ගතිමි.හිතවතුන් හා වල කපන උන් හදුනා ගතිමි.ජිවිතය ගැන තිබුන දැනුමට වඩා යමක් එකතු කර ගත්තේය.
                දෙසැම්බරයෙන් පසු රෝහල් හා බෙහෙත් පෙති අතර මාස කිහිපයක් ගෙවා දමන්නට සිදු විය.ජීවිතේ තිත්තම කාලය එය යැයි මතක් කිරිමද හිතට අප්‍රසන්නය.තමන්ට ,තමන් විතරක් යැයි සිතෙන තරමට බොහෝ දේවල් වෙනස් විය.හිත එකලස් වන තුරු කිසිත් ලිවීමට ප්‍රියක් නොතිබුන අතර මම නැවති ජීවිතේ දෙස උනන්දුවකින් බලා තේරුම්,බේරුම් කර ගතිමි..
               මාස නවයක් කිට්ටු වන විට සිදු වු අමතක නොවන සිදුවීම දෙකක් සටහන් තබමි. 
          ජිවිතේ දෙවන වතාවට මම කොලු පැටියෙකුගේ පුංචී අම්මා ලෙස අභිෂේක ලබන  ලදී ඒ තරම් සතුටක් මීට කලින් බුක්ති වින්දේ හා පැටියා (අක්කගේ 1වෙනි දුව) ඉපදුන දවසේය..ඉතින් මම අප්‍රමාණව සතුට විදින්නෙක් බව මම පසක් කර ගතිමි.
                මේ කාලය තුල සතුට වගේම දුක් වෙන්නටද එක හේතුවක් තිබෙන බව අමතක නොකරමි.ඒ මගේ හොදම යාළුවෙක්ගේ ජීවිත කතාවය ඇය ගැනද මතක් කල යුතුමය...
                ඇය අවුරුදු 4ක හා 2 1/2 ක කොලු පැටව් දෙදෙනෙක්ගේ මවකි...ඇගේ සැමියා කලක් ඉතාලියේ සේවය කර ලංකාවේ පදිංචියට ගිය උළු මෝල් හිමිකරුවෙක් බව යහළුවෙක් මට කියා තිබුනි.ඇය හා මා අතර තිබුනේ යාළුකමකට වඩා සහෝදරකමකි.පැණි වරකා ගෙඩියට හෙන ගසන්නාසේ මීට අවුරුදු 11 පමණ පෙර ඇති වු ඇගේ හා වෙනත් කෙනෙකුගේ පෙම් පල හිලව්වක් ගෙදරට කීම හේතුවෙන් ඇය මා හා විරසක් විය.එහෙත් එදා මා ඒ තීරනේ නොගත්තා නම් අසුවල් හාදයා ඇය පසුවදා වාහනයක කැටුව පන්ති ගෙන යෑමට තීරණය කර තිබුනි.කෙසේ හෝ මා විසින් එය වැලකු හේතුවෙන් අප විරසක විය..කාලය ගෙවී ගොස්ය මට ඇය මුණ ගැසුනු දවසක මතකයක්ද නැත එහෙත් ඈ ගැන හදිස්සියේ අසන්නට සිදු වුයේ සෝචනීය කතාවකි..ඇගේ සැමියා කුකුල් ගොවිපලක් පවත්වාගෙන ගිය අතර වැසි දිනක එයට විදුලිය ඇදීමට ගොස් විදුලි සැර වැදි මිය ගොස් ඇති බවය...ඇය දැන් දරු දෙදෙනා සමග තනි වී ඇති බව දැනෙන සෑම විටම සුසුම්ලනවා හැරුනු කොට මට කල හැක්කක් නොමැත. ලංකාවට පැමිණි දිනක ඇය මුණ ගැසිමට යායුතුය ...
               ඉපදුනොත් මරණය අපි හැමෝටම පොදු දෙයකි..ඉපදුන විට කිසිත් නොගෙනා අපි මිය යන විටද කිසිත් රැගෙන නොයති..එහෙත් නිෂ්පලව ජිවිතේ ගත කර මිය යනවාට වඩා ධනය රැස්කරනවාට වඩා....තවත් කෙනෙකුගේ ජිවිතයට හිනාවක් දීලා හිතින්ම සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරමු.
                          මේ අවුරැද්දේ පළමු සටහන මෙසේ තබමි.