ගොඩක් කාලයක් හිතේ තිබුනු පෝස්ටුවක් අද ලියන්න හිතුවා.2011 දී මගේ ස්විඩන් සංචාරයේ සිත් ගත් එක මුර්තියක් තමා අයන් බෝයි මුර්තිය. ස්විඩන් නගරයේ බොහෝමයක් මා දුටු මුර්ති ලෝහයෙන් නිම කර තිබුනත් මා දුටු ඉතාමත් කුඩා වුත්,හුරුබුහුටි වුත් මේ මුර්තිය ජාන්පෝනික්ය(ස්විඩන් බසින්)හෙවත් "අයර්න් බොයි" එසේත් නැත්නම් සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවා නමින් හදුන්වන අතර මෙම පුංචි සිහිවටන මූර්ති කැටයම ස්විඩන් ජාතික ලීසා එරික්සන් නම් මූර්ති ශිල්පිනිය අතින් 1954 වර්ෂයේ දි නිම කරන ලදී.නමුත් මෙම මූර්තිය වාසස්ථාන ගත කොට ඇත්තේ 1967 දී ස්ටොක් හොම් හි ගැමිලස්ටන් පරණ නගරයේය.සෙන්ටිමිටර් 5.9 ක උසකින් යුත් මෙම නිර්මාණය තනිකර ලෝහ වලින් නිම කර ඇත. එමෙන්ම පොළොව මට්ටමේ සිට උඩට තැනු සමචතුරස්රාකාර හැඩයකින් යුත් ලෝහ ස්තරයක එක මුල්ලක පිහිටන ලෙස කණු හතරක ආධාරයෙන් නැවත උඩට තැනු සෘජුකෝණාස්ර හැඩයෙන් යුත් පැතලි ස්ථරයක සද දෙස නෙත් අයා සිටින පුංචි පිරිමි දරුවාගේ රූපය අඹා ඇත.
ෆිනිෂ් පල්ලියට පිටුපසින් පිහිටා ඇති ඉතාමත් නිස්කලංක පරිසරයක ස්ථාන ගත කර ඇති මෙම පුංචි කැටයමට මිටර් කිහිපයක් නුදුරින් ස්ටොක්හෝම් රජ මාළිගාවද පිහිටා ඇත.එම නිසා මාළිගය බැලිමට එන සංචාරකයින් නොවරදවා මෙම කැටයම නැරඹිමට ද අමතක කරන්නේ නැත.එමෙන්ම මෙම ස්ථානය තුල තිබෙන්නා වු හුදකලා බවත්,නිස්කලංක බවත් නිසා බොහෝ සංචාරකයින් ගිමන් හැරිමට මෙම ස්ථානයේ මදක් නවති.
මෙම සද දෙස බලා සිටින පුංචි පිරිමි දරුවාගේ ලෝහයමය කැටයම වාසනාවේ සංකේතයක් ලෙස ද,මෙහි මායාකාර බලයක් ඇතැයිද ස්වීඩන් ජාතිකයන් විශ්වාස කරන අතර පිරිමි දරුවාගේ පාද අසල මාරු කාසි ,ටොෆි , සීත සෘතුවේදි තොප්පියක්,සළුවක් පිළිගන්වා තමන්ගේ ප්රාර්ථනා පතන්නට ද මෙම දරුවාගේ හිස අත ගා ප්රාර්ථනා කිරිමටද මෙහි පැමිණෙන සියළු දෙනා අමතක කරන්නේ නැත.
ස්වීඩන් ජාතිකයන් විශ්වාස කරන පරිදි .....
*මෙම මුර්තිය වටා තුන් වරක් කැරකුන හොත් නැවත වතාවක් ස්වීඩනයට ඉක්මනින් පැමිණිමට හැකිවන බවත්,
*මුර්තියේ කුඩා දරුවාගේ හිස තුන් වරක් අත ගා,තුන් වරක් එකම ප්රාර්ථනාව කලහොත් අවුරුද්දක් ඇතුලත එම ප්රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන බවත්,
*මුර්තියට මාරු කාසි,ටොෆි ,ඇදුම් පිළි ගැන්නුවොත් ඉතාම ඉක්මනින් තමන්ගේ පවුලේ උදවිය සමග හොද දවසක් ගත කරන්න පුලුවන් වන බවත්ය.