Tuesday, October 6, 2015

70. අක්කා කෙනෙක් කියන්නේ "කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක්...."


            
මල්ලී කෙනෙක් ,
නංගී කෙනෙක්  කියන්නේ
අක්කා කෙනෙක්ට මහා මෙරක්....
අක්කා කෙනෙක් කියන්නේ,
මල්ලී කෙනෙක්ට,
නංගි කෙනෙක්ට
 "කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක්...."


              මමයි ,අක්කයි කියන්නේ බොහොම ටික කාලයක් එකට හිටිය දෙන්නෙක්..... අක්කට අවුරුදු 16වෙනකම් මට අවුරුදු 12 වෙනකම් අපි එකට ඉස්කෝලේ ,ආවා -ගියා ,කෑවා-බිව්වා...එකම කාමරේ ඇදවල් දෙකක් ලං කරලා එක නෙට් එකේ නිදා ගත්තා,රෑට හොල්මන් හීන දැක්කම අක්කගේ පොරවන රෙස්දෙන් අල්ල ගත්තා,තාත්තා ගෙනාව පොඩි රේඩියෝවෙන් එළි වෙනකම් සින්දු ඇහැව්වා, රන්ඬු කලා,ගහා ගත්තා,ඇඬුවා, හිනා උනා ,හොර වැඩ කලා........ඒ කාලේ ආයේ එන්නේ නෑ කියලා හිතන වාරයක් ගානේ පිච්චිලා යන හිතත්, තෙත් වෙලා යන ඇසුත් හරි,හරියට ලෝකෙන් හංගන්න  දෙන ෆයිට් එක දන්නේ මං විතරක් වෙන්න ඇති...
            ඉස්සර අක්කයි ,මායි කියන්නේ නුලයි සරුංගලෙයි වගේ...අක්කා කොහෙද යන්නේ මාත් පස්ස පාරේ...මම කොච්චර එයාට ගහලා ඇද්ද ඒ එක දවසකවත් එයා මට පාරක් ගැහැව්ව මතකයක් නෑ..එයා මට ආදරේ ඇති ඒත් කවදාවත් ඒ ආදරේ පෙන්නුවේ නෑ...මං එයාට ආදරේ කලත් මං කවදාවත් කියලත් නෑ...සමහර විට මේ ලියන සටහන අපිලිවෙලට ලියවේවි...අම්මා,තාත්තා තරම් අක්කා ගැන ලියන්න මට ලේසි නෑ...අපේ මතකය හරි පොඩ්ඩයි ඒකත් අවුරුදු 16යකට කලින් මතකයක් විතරයි...
                      ඒත් මතක් කරලා,මතක් වෙන හැමදේම අපිළිවෙලට හරි ලියලා හිත නිදහස් කර ගන්න ඕනේ.....උඩ පින්තූරයේ ඉන්නේ අක්කගේ සුදු දුව එයාගේ මල්ලිව බලා ගන්නවා ඔය පින්තූරේ අක්ක එවපු හැටියෙම මට මතක් උනේ අම්මා කියපු කතාවක්....මම ඉපදුන අලුත දවසක් රෑ හොදටම අකුණු ගහලා වහිනවලු අම්මා අක්කට මාව බලා ගන්න දිලා උයන්න ගිහින් අක්ක මට අකුණු වැදෙයි කියල බයට මාව තුරුල් කරන් ඉදලා අම්මා එද්දී...ඒ ආදරේ දැනුත් තිබුනා නම් කියලා හිතෙනවා....අපි එකම මහද්වීපේ රටවල් දෙකක..පාරවල් දෙකක....පේන මානයක අපි මුණ ගැහෙන හංදියක් නැති තරම්....අපි සෑහෙන්න දුරක් අපි නැතුව ඇවිත් කියලා දැන්,දැන් මට හිතෙනවා....හිතේ මහා හිස්කමක් මුසල විදිහට ඇඳිලා......සමහර විට මම සංවේදි වැඩි ඇති ඒ නිසා මට විතරක් මෙහෙම දැනෙනවා ඇති.....මේ ගිලිහෙමින් යන තත්පර, පැය, දවස්, සති,අවුරුදු බවට පත් වෙලා දවසක අපිට අපි නැතුවම යයි...ඒක ලෝක ස්වභාවේ.....ඒත් සල්ලි වලට අපි දෙන්නා අතර,අපේ පවුල අතර පවුරු පදනම් බදින්න අවකාශය තියෙන බව කලින්ම දැන ගත්තා නම් අපිට තිබුනා ධනවත් නොවි දුප්පත්කමින් පොහොසත් වෙන්න ...... මනුස්සකමින් පරිපුන් වෙන්න....
ඒත් ඒ හැමදේම සිතුවිලි විතරමයි....
              අක්කා දැන් අම්මා කෙනෙක් ,හොද බිරිඳක් සතුටින් ඉන්න කෙනෙක්....මම බලාපොරොත්තු උන තැන අක්කව හිතින් ඔසවලා තිබ්බ තැන එයා ඉන්නවා...ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද?අදටත් මම බනිද්දි කට පියාන කඳුළු එකතු කරාට දන්නේ නැතුව ඇති හොරෙන්,හොරෙන් මටත් මහා ගොඩක් කඳුළු වැටෙන බව.....
                            අයිතිකාරකමක් කියන්නේ කොහොමද අක්කා උඹට දැන් අයිතිකාරයෝ දෙන්නෙකුයි, අයිතිකාරියකුයි ඉන්න කොට.....තාක්ෂණ දෝෂ,කාල දෝෂ තිබුනට හිතේ දෝෂ නැතුවම අපි, අපිට ආදරෙයි....ඊයෙත්,අදත්,හෙටත් හිතේ හංගගෙන .......
                  _උඹේ නංගා_
                     

17 comments:

  1. සංවේදී සටහනක්....... දැනෙන්ස ලියලා තියෙනවා........ ලස්සනම ලස්සනයි........ ඇත්තටම සහෝදරකම කියන්නේ පුදුමාකාර බැදීමක්..............

    ReplyDelete
    Replies
    1. ඔව් අවංක ..සහෝදරකම පුදුමාකාර බැදීමක්

      Delete
    2. ඒ උනාට මට සහෝදර සහොදරියො කවුරුත් නෑ...... ඒ හින්දයි මං ඒ බැදීම වඩාමත්ම අගේ කරන්නෙ. අවංකවම මෙව්වා කියවනකොට ලාවට වගේ ඉරිසියාවක් ඇති නොවෙනවාමත් නෙවෙයි.........

      Delete
  2. උඹට එකයි. මට අක්කලා තුන් දෙනයි. හිතාගන්න පුළුවන් නේද කොහොම තියෙන්න ඇතිද කියලා? අද ඒ තුන්දෙනාම මට අම්මලා වෙලා. මම එච්චර වාසනාවන්තයි. අක්කලාට පින්.

    ReplyDelete
    Replies
    1. ෂා විචාරක මාමා රජ වගේ ඉන්නවා ඇති නේ....අනිවා මාරම වාසනාවක්

      Delete
  3. හුඟක් සංවේදීව දැනුනා ශානු... නොකිව්වට අක්කලාගේ හිත් වලත් නංගිලා මල්ලිල ගැන කොයි තරම් ආදරයක් තියෙනවද කියලා මමත් අක්ක කෙනෙක් නිසා දන්නවා.

    ReplyDelete
    Replies
    1. ආදරේ තිබ්බට අපි ඒ ආදරේ හංගලානේ කරන්ටන් තුශා ;)

      Delete
  4. ..//ඉස්සර අක්කයි ,මායි කියන්නේ නුලයි සරුංගලෙයි වගේ//..

    මටත් ඉන්නේ අක්කා විතරයි.අක්කා විවාහ වෙනකොට මට අවුරැදු විස්සක් විතර ඇති.මම අක්කා ගෙදරින් යනකොට අඩපු තරම්.සතියකට විතර පස්සේ මම ගියා අක්කලාගේ ගෙදරත් අක්කා නැති පාලුවට.

    දැන් අක්කාට පොඩි කොලු පැටවු හතර දෙනෙක් ඉන්නවා.අක්කගෙයි මගෙයි අතරේ පුදුමාකාර සහොදර බැදිමක් තියෙන්නේ.ඒ බැදිම ගොඩක් අය ගල නැ කියලයි මම දැකලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හැමදාම ඔයාලගේ සතුට රැදෙන්න කියලා පතනවා..ගොඩක් අයට සහෝදරකම අමතක වෙනවා කාලය එක්ක...

      Delete
  5. මට කවදාවත් සහෝදර බැඳීම් තිබුනේ නෑ. ඒ කියන්නේ මම තමා පවුලේ එකම ළමයා. නංගි කෙනෙක් හිටියත් එයා උන්නද මලාද නෑ. අපි එකට හිටියේ අවුරුද්දක් වගේ. ඒත් එයා පොඩිම කාලේ.
    ඒ නිසා සහෝදර බැඳීම තේරුම් ගන්න මට ටිකක් අමාරුයි. ඒත් මේ සටහන කියවනකොට නම් හිතට පොඩි අමුත්තක් දැනුනා..

    ReplyDelete
    Replies
    1. අගහරැ මල්ලිට ඔන්න අක්කෙක් ඉන්නවා දැන් :)

      Delete
  6. දැන් උඹ අක්කද නංගිද?

    ReplyDelete
    Replies
    1. මම නංගි .... සුදු අයියා

      Delete
  7. අක්කා කෙනෙක් ගැන ලියවුනු ඉතා සංවේදී සටහනක්. මේක කියවනකොට මටත් ඉබේම මගෙ පුන්චි කාලෙ මතක්වුනා සානු. පොඩි කාලෙ ඒ කියන්නෙ මට අවුරුදු 3 විතර කාලෙ ඉඳලා අපිව බලාගත්තෙ ලොකු අක්කා. අම්මා අයියකෙනෙක් තියාගෙන බොහෝවිට ඉස්පිරිතාලෙ. තාත්තා අම්ම බලන්න යනවා. අක්කට අවුරුදු දහයයි. උදේ පාන්දර නැගිටල, කෑම හදල, අම්මට යවන බත් බැඳල, තාත්ත ගියාට පස්සෙ අනිත් අය නැගිට්ටවල, ලෑස්ති කරවල, ඉස්කෝලෙ යවල, පුලුවන් උනොත් අක්කත් යනව. බැරිනම් නොගිහින් ඉන්නව. ඔය විදිහට අවුරුදු ගානක් කරන්නැති. අපි කොච්චර රන්ඩු වුනාද? ගහගත්තද? අදත් අපි බොහොම එකතුයි. ඒ වගේම අක්කගෙ ලමයි ටිකත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතී කසුන්....අක්කලාගේ ආදරේ ඔහොමයි

      Delete
  8. ශානූ අක්කේ... මම මගේ පවුලෙ අයත් එක්ක පවුලක් විදියට එකට ඉදල තියෙන්නෙ අවුරුදු 10 ක් වගේ පොඩි කාලයක්... දැන් මගේ වයස අවුරුදු 25යි... මගේ පවුලෙ තාත්ත අම්ම අයිය අක්ක සහ මම...

    මට මෙතන මුකුත් ලියන්න බෑ... මම ලින්ක් එකක් දාන්නම්... ඒකෙන් බලන්න... කියන්න බෑ.. බලන්න....

    https://www.facebook.com/%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A-832406503473297/timeline/?ref=hl

    ReplyDelete
    Replies
    1. මල්ලී කියන්න වචන නෑ.....මොනා උනත් ඔයා වාසනාවන්තයි....දෝණි නංගී එක්ක සතුටින් ඉන්න

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!