Wednesday, June 26, 2019

115.නමක් නැති කතාවක්

වේලාව පාන්දර 02.00යි කවුරුත් good morning කියනකම් නෙවේ බලන් ඉන්නේ...නින්ද යන්නේ නැති නිසා....නින්ද යන්නේ නැත්තේ මොකුත් නිසා නෙවේ හවසට කන පැලෙන්න නිදන නිසා...

ජීවිතේ හරි පුදුමයි.....ඊයේ හඳ පෙනිච්ච ජැනේලේ ලගම තමා අදත්....

ෆෝන් එකේ මැසේජ් බැලුවා...


"එයා ගියදෙන් මැණිකෙ 
ඉන්න ආපු කෙනෙක් නම් මේ කියවද්දිත්  ඔහේ එක්ක ඇති. 
මෙතන මේ වෙලාවෙ එයා ඔහෙ එක්ක ඔහෙ වෙනුවෙන් නෑ කියන්නෙ එයා ඉන්න ඇවිල්ල නෑ"

මේක කොයි කාලේ ආව  එකක්ද කියලා මම ලියන් නෑ ඒත් මේක මැසේජ් එකක් හොඳම යාළුවෙක් එව්ව....

මම හිතන් යන්නේ මෙච්චරයි.....
        මිනිස්සු හම්බ කර ගන්නවා කියලා අපි හොඳ නරක මිනිස්සු දෙගොල්ලම හම්බ කර ගන්නවා...හරියට හුරුල්ලෝ අල්ලන්න දැල දැම්මම සූඩයෝ සාලයෝ ඒ දැලේම පැටලිලා එනවා වගේ..... මිනිස්සු කාලා බලලා කියන්න බෑ ආශ්‍රය කරලා බලන්නම ඕනේ.....

"එයා පොරොන්දු කඩලා ජීවිතේ  හදා ගන්නව නම්,මම දුන්න පොරොන්දු අමතක කරලා මම ඉස්සරහට යන එක වැරදිද"

ඒ මම දේවාලෙකට (ඌ යාළුවෙක් ඈ) යැව්ව මැසේජ් එකක්...

"පොරොන්දු නම් මොනාද බං,මෛත්‍රීපාලත් දුන්නේ "කිව්වා...

සේරම ඉවර උනේ එහෙම....

ආ අමතක උනා .....

ඊට කලින් තව දෙයක් 

මට කට පුරා පණ කිව්ව කටින් එයා තව කෙනෙක්ට පණ කිව්වා මේ ඇස් දෙකෙන් එහෙම දෙයක් දැක්කට පස්සෙ තමා

සේරම ඉවර උනේ.....
විශ්වාසය බිඳුනෙත් එතන.....
හිත කැඬුනෙත් එතන....

මම ඒ හැම අතීත කතාවකටම ණය ගැතී....

ඇස් පෑදුවට....

මම දැනුවත්ව වැරදි කරන් නෑ සාමාන්‍යයෙන් ....මම එයාට සමාව දීලා ලඟට ගන්න හදපු හැම වෙලේම එයා කොලේ වහලා කරපු හැම බොරුවක් ඉස්මතු උනා...මගේ විශ්වාසේ කඩලා තව කෙනෙක්ගේ විශ්වාසේ රකින්න හදනවයි කියන එක විහිළුවක්...


මේ සමාජයේ ගොඩක්ම සිද්ධාර්ථ වගේ රඟපෑවට සිද්ධාර්ත වගේ වෙන්න බෑ....යශෝදරාලා වගේ ලෝකෙට පේන්න ඇක්ට් එක දීලා පත්තිනි සළු පොරෝ ගත්තට යට සායේ තුත්තිරි හංගන්නත් බෑ...


------------------------------------------------------------------------

මම මේ මොහොතේ සතුටින්ම ඉන්න ජීවියා වෙලා ඉන්නේ ....වෙච්ච කෙරිච්ච කිසි දේකට කාටත් වෛර කරන්නේවත්,තරහ ගන්නේවත් නැති නිසා....කාලය හැමදේටම තිබ්බ නම් බැඳීම් වෙනස් කරනවා...එයාට නැති උනේ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් මට නැති උනේ මට ඕනම වෙලේ ආදරේ කියලා ඔප්පු කරන්නවත් බැරි තමන්ගේ සතුට වෙනුවෙන් මගේ අහිංසක හීන කඩලා බිඳලා දැම්ම...මගේ හැඟිම් තුට්ටු දෙකට දාලා ජීවිතේ නැති කර ගන්න තැනට ඇඳලා දාපු...මානසික පීඩනයක් දුන්න...හිස් චරිතයක්....

අවසානයෙන් ලියමි....
     ආදරේ කරන කාලේ අවංකව එයා ආදරේ කලා...ඒත් අවස්තාව  ආවම එයාගේ ජීවිතේ හදා ගන්න එයා ගියා...මගේ ජීවිතේ පයට පෑගෙන දූවිල්ලකට දාලා... මම තාම දන්නේ නැත්තේ ඇයි එහෙම කලේ මට කියලා විතරයි...

"මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කලාම ඒ මිනිස්සුන්ගේ සුන්දරකම් ආත්මය එක්කම විනාශ වෙනවා...ඒක මතක තියාගෙන ජීවත් වෙන්න "

Sunday, June 23, 2019

114.හීන වලට පණ දෙමින්


   ජීවිතේ ආසම හීන  ලං කර ගන්න පුලුවන් උනේ උනන්දුව උත්සහය නිසා කියල මට හිතෙනවා..අවුරුදු 14 දී මම හිතුවා කෝම හරි 18සම්පුර්ණ වෙද්දී ඩ්‍රයිවින් ලයිසන් ගන්නවා කියලා ඉතින් o/L කරලා ගෙදර ඉන්න කාලේ මම කලේ ලර්නස් ගිය එකයි ග්‍රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න හිතාන කම්පියුටර් ක්ලාස් ගිය එකයි විතරයි... ලයිසන් එක නම් හිතපු විදිහට අවුරුදු 18යි සතියක් වෙද්දී ගන්න පුළුවන් උනා...

ඒත් ග්‍රැෆික් සයිඩ් එකේ ඉස්සරහට යන්න බැරි උනේ ලංකාවෙන් මුහුදු හතක් පනින්න උන නිසයි...ඒත් මම කවදාවත් ඉගෙන ගන්න එක අතැරියේ නෑ මුල් කාලේ පොඩි පොඩි මුදල් ගෙවලා youtube එකේ නැති එඩිටින් ටූල්ස් ගැන වීඩියෝස්   අධයනයක් කලා...ඒ අතර විඩියෝ එඩිටින් පැත්තක් ටිකක්  උනන්දුවෙන් ඉගෙන ගත්තා..නොදන්න දේවල් facebook  එකේ ග්‍රැෆික් කරන අයගෙන් අහ ගත්තා...

ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට පැය 13 ක් විතර වැඩ කරන්න ජොබ් එකක් ලැබෙනවා 2008 වගේ ඊට පස්සේ අර ආසාවෙන් කරපු සේරම අතැරිගෙන යනවා...ඒ හීන සේරම තාවකාලිකව පැත්තකට තියලා මම  අවුරුදු 10 විතර කට්ටක් කනවා ජීවිතේ හොඳම කාලේ ජීවත් වෙන්න මනුස්සයෙක්ට ඕන කරන හැමදේම සම්පුර්ණ කර ගන්න මහන්සි වෙලා ගිය අවුරුද්ද වෙද්දී මගේ ටාගට් සේරම සම්පුර්ණ වෙනවා...

ඉතින් මේ දැන්  ගෙවෙන්නේ ජීවිතේ හොඳම කාලය කියලා හිතෙනවා...ආයෙමත් අතැරුන හීන අල්ලන්න කාලය ඇවිත්...ජීවිතේ ආයෙමත් හීන හැබෑ කර ගන්න අවස්ථාවක් ඇවිත්...මම ආයේ ෆ්‍රැෆික් ගැන ඉගෙන ගන්න ගත්තා ....ඒ වගේම විඩියෝ එඩිටින් කරනවා....හැබැයි මගේ ලැප මලගම් ගියාට පස්සේ අයිපෑඩ් එකයි හබීතුමා ගිය දෙසැම්බර් තෑගි දුන්න ඇපල් xr එකයි තියෙන්නේ.....ඉතින් මම xr එකෙන් මගේ වැඩ කරන්න පටන් ගත්තා....වැඩේ හිතුවට වඩා සාර්ථකයි....

මම 'ම ලියලා...මම'ම වොයිස් රෙකෝඩ් කරලා....එඩිට් කරනවා කියන සතුට කියලා නිම කරන්න බෑ....
මම කරපු පොඩි වැඩ ටිකකුත් දාන්නම් බලන්න...ජීවිතේ හීන හැබෑ කර ගන්න පුළුවන් හරි කාලය අදුන ගැනීමයි වැදගත්....මැරෙන්න කලින් පොතක් ලියන්න ඕනේ ඒකේ කවරේ මගේ අතින් හදන්න පොඩි පහේ හීනෙකුත් තියෙනවා...හැබෑ වෙයි කියලා හිතනවා...






පොඩ්ඩගේ බෞතීස්ම දවසේ මම හදපු  ආරාධනා පත්‍රය
හබිතුමාගේ බිස්නස් එකේ කටවුට් එකක්
පහල එඩිට් නම් rehabilitation hospital එකේ  වැඩ කරන යාළුවෙක්ගේ staff එකේ විශ්‍රාම ගිය දෙන්නෙක් වෙනුවෙන් හදපු ඒවා.... 



මේ සේරම වල විශේෂත්වය මේ සේරම ෆෝන් එකෙන් එඩිට් කරපු ෆොටෝ වීම.....හරි සීරුමාරුවට කරන්න ඕන නිසා සමහර පින්තූර දවස් 20 ක් විතර හෙමීට එඩිට් කරන්න ඕනා...එපා වෙන්නේ නෑ ආසාවෙන් කරන නිසා....

මේ අද කරපු අලුත්ම වැඩේ...හිතුන වචන ටිකක් ලියලා කරේ පැයකින්..ඉස්සරහට මීට වඩා හොදට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.




Thursday, June 20, 2019

113. කිඹුල් සින්දු

      අනේ මන්දා පොඩි කාලේ ඉදන් මට සින්දු කියන්න පුදුම ආසාවක් තිබ්බා ඒත් ඉතින් ටකරමකට ගල් ගහනවා වගේ යාන්තමට "රන්වන් පාටයි සමලලයා" කියන කාලේ ඉඳන් මට සින්ඳු කියන්න පුළුවන් උනාට ගායනා කරන්න බෑ...ඒත් අපේ අම්මගේ වොයිස් එක ඇන්ජලින් මහත්මිය වගේමයි...ඒත් ඉතින් පස්සේ කාලෙදී තයිරොයිඩ් ඔපරේෂන් එකෙන් ඒ හඬ වෙනස් උනා...ඒත් කොහොම හරි අම්මා සින්දු කියන එක අතැරියේ...ඒ අම්මගේ දුව වෙච්ච මමත් සින්දු කියන එක අතැරියේ නෑ...
       
        මේ සිද්දිය වෙන්නේ මම නවය වසරෙදි වගේ අපේ අම්මගේ යාළුවෙක්ගේ පුතෙක්ගේ වෙඩින් එකකට ගිහින් මට ස්ටේජ් එකට නැගලා සින්දුවක් කියන්න ෆුල් මෙව්වා එකක් ආවා..ඒ දවස් වල "kuch kuch hota hai" කියන ෆිල්ම් එකේ තුම්පාස ආයේ තමා කිව්වේ..අනේ කිසිම අතුරු ආබාධයක් නැතුව සින්දුව කියලා ස්ටේජ් එකෙනුත් බැහැලා ආවා...
ඊට පස්සේ දවසක මම ක්ලාස් යන සයිකලේ පැදගෙන පල්ලිය වත්ත ඉස්සරහ පාරෙන් යද්දී කොල්ලෝ කුරුට්ටෝ ටිකක් "තුම් පාස ආයේ...කියලා කෑ ගහනවා අන්න එදා තමා දැන ගත්තේ මම සින්දුව ලස්සනට ගායනා කරලා නෑ කියලා

      ඔන්න ඔය විදිහට අවුරුදක් දෙකක් යනකම් මම බොහෝම ඉවසීමෙන් තමා පාරක තොටක බැහැලා ගියේ...කොල්ලෝ කෑ ගහලා "තුම් පාස ආයේ ...කියද්දිම මම මට නෙවේ වගේ බොහොම දැහැමිව යන්න ඒ දවස් වල ඉවසීම ප්‍රගුණ කරමින් උන්නා....ඒ එක්කම මගේ හිතේ ලොකු අදිෂ්ඨානයක් ආවා කවදා හරි දවසක ලස්සනට සින්දු ගායනා කරන්න මොන විදිහට හරි පුරුදු වෙන්න ඕනේ කියලා.

   කලය ගෙවීගෙන ගියා දැන් අවුරුදු 18කට කලින් සිද්ධ වෙච්ච දෙයක් ...ඒත් ඉතින් අර හිතපු විදිහට smule එකේ යසට සින්දු ගායනා කරනවා මම..ඒ ගැන උන්න හැටියල මදෑ කියලා හිතෙන තරමට සාර්ථකයි කියලා මම හිතනවා.ඒක නම් පාළුවට කියපු සින්දු...හදිස්සියේ මට smule මග හැරිලා තිබිලා අද ඇප් එක දාගෙන ලොග් වෙන්න බැරි උනා ඉතින් අපි සැලෙනවද ආයේ අලුත් එකවුන්ට් එකක් හදන් සින්දු කිව්වා...2017 කිව්ව සින්දුවක් අමුනනවා... හෑන්ඩ් ෆ්‍රී ගහන් අහන්න එපා...දුවන්ඩ බලාගෙන හරි ෆෝන් එක ඕෆ් කරන්න බලාගෙන හරි අහන්න මොකද ඒ තරමට ඒ හඩ මිහිරි....
https://www.smule.com/p/710847535_1044514816
ප:ලී:
      මට දැන් හිතන්නේ ගමේ උන්ට පේන්ඩ මේ සින්දු ප්‍රසිද්ධකරන්න විදිහක්...:)

Wednesday, June 19, 2019

112. හදවත ගැහෙනවා නමුත් අත් හරිමි

හදවත ගැහෙනවාද ? ජීවත් විය යුතු නිසා සෙලවෙනවාදැයි මම නොදනිමි..මේ ගෙවි යන්නේ ජීවිතේ  අමාරුම සෘතුවය.සීතලත් නැති රස්නෙකුත් නැති කේඩෑරි කොල හැලිච්ච ගස් පවා නිය දත් විලිස්සන් මා දෙසම ඇස් යොමා ඔච්චම් කරන කාලයකි.කොටින්ම පරිසරයේ ස්වාභාවය මට කොලොප්පමට මෙන් සිටිනවායැයි මට සිතේ..ඇගේ නික්ම යෑම මේ තරම් ජීවිතය අඳුරු කරවන ජේදවාචලයක් වේ යැයි මම නොසිතුවෙමි...

ප්‍රේමය ගැන අබ මල් රේණුවක් තරම් උවමනාවක් නොමැති කලක හමු වී ජීවිතයම වී මෙලෙස ජීවියෙක් තවත් ජීවියෙක්ගෙන් සමු ගැනීම කෙතරම් වේදනාවක් දැයි මම දැන් දනිමි...ඒ සමු ගැනීම තවත් කෙනෙකු සමග ජීවිතය බෙදා ගැනීමට යැයි සිතිම ඊට වඩා වේදනාවකි...  නමුදු එකට ගමන් කල කාලය රන් සමානව පසක් කරමි... මේ මානසික    විඩාව මඟ හැරවා ගැනීමට සියළු දේ අතැර ඒමට වඩා හොද උත්තරයක් මට නොතිබුනී..

ඇය කොහේ හෝ සතුටින් සිටිය යුතුය..මා තුල තිබු එකම ප්‍රාර්ථනාව සැමදා එය විය.එසේ නම් මේ තරම් දුක් වීම ගැන මම තවම සිතය යුතු නැත.සැබෑ  ප්‍රේමය අනිකාගේ සතුට ගැන සිතීම නම් මා ඇයට ඇගේ සතුට දී ඇගේ නික්මයෑම දරා ගත යුතු නොවේද...විටෙම මම කවියෙක් වුනෙමි..විටෙක උන්මත්තකව ඇය පසු පස ගොස් අතැර යෑම පිළිබඳ හේතු අසා ජීවිතයම වූ ඇය මට නැවත අවැසි බව ආයාචනා කලෙමි. දැඩි නිහඩ තත්පර ඇතුලේ ඇයට තිබුනේ නිරුත්තර බවකි...ඇගේ නිරුත්තර බව ඇගේ හැසිරිම කිව යුතු සියළු දේ මට කියා තිබුනද ? මම ඒ පරාජය දරා ගැනීමට එවකට අපොහොසත් විය.ඉතින් ඈ පසු පසම ගොස් තව තවත් හිත රිද්දවාගෙනම සියල්ල අතැරෙන්නට දුන්නෙමි.

ඉතකින් දින,සති,මාස ගෙවි ගොස් ය. ඇය කෙසේ දැයි මම නොදනිමි...මා කෙසේ දැයි ඇය නොදන්නා බව දනිමි..සියල්ලම මෙසේ නිම වන විට ජීවිතේ ජය,පරාජය කෙබඳු වූවත් හෙට දවසේ පායන හිරුට අප මුහුණ දිය යුතුය..පුද්ගලයන්ගේ හොදට ඔහුන්ගෙන් පලා ආවද?ජීවිතයෙන් පලා යෑමට අපට නොහැක..එක පරිච්ඡේදයක අවසානයේ අලුත් පරිච්ඡේදයකින් අලුත් කතාවක් ලිවීමට අපට සිදු වේ...මතක ඇත්තේ අතීතයට ගොස් බලා ඒමට මිස අතීතයේ නැවතීමට නොවන බව මම දනිමි
 
      ඉතින් ජීවිතය සුන්දරය...නැවුම්‍ ය......  දැන් සරත් කාලය පැමිණ ඇත .ජීවත්ව ඉන්නා ටික කාලයේ සතුටින් දිවි ගෙවනු විනා ...දුක් වේදනා කුමට දැයි මම සිතමි...මම ආසම දෙවල් සමග උබ නැතුව ජීවත් වීමට පියවර තබමි...වෛරයක් නැති ප්‍රේමය පමණක් හිතේ ගැබුරක නිදන් කොට උබට සුබ අනාවක් පතමි!! මට වඩා සතුටින් ජීවත් විය යුතු යැයි සිතමි...

Thursday, June 13, 2019

111.තට්ට බෝනික්කා

     මගේ ජීවිතේ ඉන්න හැම කෙනෙක්ටම වගේ හැම දේකටම අහේතුකාරව ආදරය කරන එක බැඳෙන එක වෙලාවකට පුදුමයක්....මේ බෝනික්කට පුළුවන් මොකක්ද හේතුවක් නිසා මගේ හිත හිර කරවන්න ...අහේතුකාරව හිත රිද්දන් මම මූ දැකලා අඬපු දවස මට අද වගේ මතකයි...ඒත් එහෙම උනේ ඇයි කියන්න මම දන්නේ නෑ

  මම කියන්නේ සමහරු හිතන්නෙත් නැති තැන් වල පට්ට සංවේදි වෙන මනුස්සයෙක් කියලා මම දන්නවා.ඒත් මේ බෝනික්ක එක්ක තියෙන මොකක්දෝ වේදනාවක් මූ දකින දකින  සැරේට මාව රිද්දනවා...ඒක ගැඹුරු අහිමි වීමක්ද...අහිමි වීම් ගොඩක් එක්ක තාම ඌ බෝනික්කෙක් කියලා අඳුන ගන්න පුළුවන්කමද කියලා මම දන්නේ නෑ

එදා සහ අද ගොඩක් වෙනස් ...අහම්බකාරව මට අද මූ මතක් උනා...මොකද තරහ  ගිය වෙලේක යාළුවෙක් මට මේ පින්තූරේ එවලා තිබ්බා. මම ඒ බෝනික්කා දිහා බලලා කියා ගන්න බැරි රිදුමකින් ඉද්දී ඇස් දෙක තෙත් උනේ නොදැනිම..ඒ ඇයි කියලා මම අදටත් දන්නේ නෑ ....එදා ඒ රිදුමට හේතු  හොයන්න ගියෙත් නෑ

ආයෙමත් අද මම මේ පින්තූරේ දිහා බලාන කියා ගන්න ගොඩක් දේවල් තිබිලත් කියා ගන්න බැරුව හිර වෙලා....ඒත් මට එකින් එක මතක් කර ගන්න පුළුවන් පලවෙනි කාරණය මට පොඩි කාලේ ඉදන් බෝනික්කන්ට තිබ්බේ මහා අකැමැත්තක් කෙල්ලෝ බෝනික්කෝ නලවන්න ඕනමයි කියලා නීතියක් නෑ..ඇයි කෙල්ලන්ට කොල්ලන්ට වගේ බැට් එකකුයි බෝලෙකුයි නලවන්න බැරිද? පුළුවන් කව්ද බෑ කියන්නේ මම කලෙත් ඒකමනේ

දවසක් අම්මා සෙල්ලම් බඩු කඩේකට ගිහින් අහනවා

"ඔයාට බෝනික්කෙක්ද ඕනේ ගිටාර් එකක්ද කියලා"

ඒ ගමන් අම්මා කියනවා කෙල්ලෝ ගන්නේ බෝනික්කෝ කියලා

මම දෙගිඩියාවෙන ඉදලා... මම ආස දේ ගන්න තීරනේ කරනවා
"මට ඕනේ ගිටාර් එක"

මට ඒ ගිටාර් එක ලැබෙනවා.... 

ඔය වගේ ගෑණු ළමයින්ට පොදු සම්මත කඩන්න මම  පොඩි කාලේ ඉදන් පටන්  ගත්තා....

එහෙම වෙලා අද මම මෙතන මම ආසම හෙයා ස්ටයි එක දාන... මම ආස ඇදුම් අදින ...මම කැමති දේ ලියන,කියන.... කෙනෙක් වෙලා ඉන්නවා ඒ ටිකම මට ඇති සතුටු වෙන්න...මම අද කාටත් වඩා මාව විශ්වාස කරනවා..කවුරු මට බොරු කලත් මම මට වංචා කරන් නෑ ඒ කියන්නේ මම මගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඒ සමානව විශ්වාසේ රකිනවා...මම මම වෙන්න උත්සහ කරනවා...

ආ බෝනිකා ගැන නේ කිව්වේ...

දැන් මේ ගෙවෙන කාලය මේ බෝනික්කා වගේ කිලිටියි.....අබ්බගාතයි...දැක්කම දුකයි....කියා ගන්න බැරි වේදනාව යි...ඒ මේ ගෙවෙන කාලය මිසක් මගේ ජීවිතේ නෙවේ කියලා මම මෙනෙහි කරමින් ඉන්නවා...


ඒත් මට තව කාලයක් යනකම් මේ බෝනික්කා නිසා හිත රිද්ද ගන්නේ ඇයි කියල නම් කියා ගන්න බැරි වෙයි

Wednesday, June 12, 2019

110.පුස්තකාල ලව්-දුටු සතුටු මල

     මම දන්නවා පුස්තකාල ලව් කිව්ව ගමන් කට්ටිය ඇවිත් මේක කියවලා බැනලා යයි ඒත් කමක් නෑ මම මේ ලව් එක ගැන නම් ලියන්න ඕනා ඒ ඉතින් සා/පෙ. ඵල දෙන කාලේ...ඔය චිත්‍ර පාඩමේ පැවරුම් වලට තමා පුස්තකාල වලට රිංගන්න අපිට සිද්ද උනේ...ඔන්න හා හා පුරා කියලා අපේ චිත්‍ර මිස් අපිට දුන්නා පැවරුමක් අජංතා බිතුසිතුවම්  ගැනයි මිසර චිත්‍ර ගැනයි හොයන්න මගේ වෙලාව හොද කමට ඉස්කෝලේ පුස්තකාලයෙන් ඒ වෙනකොට චිත්‍ර කලාවට සම්බන්ද ඔය විස්තර තියෙන පොත් මොකියෙක් හරි ඩැහැගෙන ගිහින්....
   ඔය දැන් වගේ ගූගල් තියා ඉන්ටනෙට්,කම්පියුටරයක් ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඩොටේ කාලේ කොහොම කියලා මේ විස්තර හොයන්නද කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනා ප්‍රාදේශීය සභාවේ පුස්තකාලේ ඔන්න ගිහින් බැලුවම ඕන කරන පොත තියෙනවා .පොත එළියට ගෙනියන්න දෙන්නේ නෑ මෙම්බර්ශිප් නැතිව ...මෙම්බශිප් ගන්න සාමදාන විනිසුරු කෙනෙක්ගෙන් ලියුමක් ඕනා ඒ වෙලේ ඕවා කරන්න වෙලා නෑ ඉතින් පන හලාගෙන ලියලා ලියලා ඕන ටික කොපි කර ගත්තා ඒත් තව මදි......
         දෙවෙනියට ගිය පුස්තකාලේ අල්ලපු ගමේ තිබ්බේ ඒකේ ඒ බර පොත් තිබ්බේ නෑ....ඉතින් බලාපොරොත්තු සුන් වෙච්ච මලානික හිතින් තුන් වෙනි පුස්තකාලේ ලගට යද්දී තමා දැක්කේ ඒකේ හිටියේ ලාස්සන අයියෙක් කියලා...මගෙයි මගේ යාළුවගෙයි ඉහේ නෙළුම් මල් ප්‍රකෝටිගානක් පිපුනා ඒ ප්‍රකෝටිගාන තවත් ප්‍රකෝටි ගානකින් පිපුනේ අපිට ඕන පොත් එකට දෙක තුනක් ඒ පුස්තකාලේ තිබිම...ඒත් ඒ මල් පර වෙලා චප්ප චිරිප්පන් වෙලා මැරිලා ගියේ කලින් වගේම මෙතනින් පොත් ගෙනියන්න මෙම්බර්ශිප් සෙද්දක් ගන්න කියපු එකෙන් ....
       අපි පොඩ්ඩක් කල්පනා කරලා අපි එකටම ඒ අයියට බටර් ගාන්න ගත්තා අපිට අදරෑට මේ පැවරුම හදලා හෙට වෙද්දී දෙන්න ඕනා නැත්තම් අපිට වැලේ වැල් නැති බව පස්සේ ඒ අයියට අපේ අදෝනාව ඇලජික් වෙලා අන්තීමෙට අපේ බෑග් දෙක ඇපයට තියලා අපි අර පොත් ටික ටවුමට ගෙනත් ෆොටෝ කොපි ගහ ගත්තා...ඊට පස්සේ පොත් ටික දීලා අපේ බෑග් නිදහස් කරගෙන .ලස්සනට පිළිවෙලට අපේ පැවරුම් බාර දුන්නා.
       පස්සේ කාලෙක  මට වඩා මගේ යාළුවට ඒ අයියා ගැන මෛත්‍රීය ඉපදිලා තිබුන තරම කොහොමද කියනවා නම් ඒ අයියා යාලුවාගේ  දුටු සතුටු මලක් බවට පත් උනා...අපි ක්ලාස් යන්න වෙලාව තියෙද්දී දුටු සතුටු මල බලලා එන්න යනවා...පස්සේ අපි  යාළුවෝ උනා... මම ඉතින් පොතක් එක්ක වේලුනා ...අරුන් දෙන්නා ප්‍රේමයෙන් වෙලුනා
      සා/පෙ. ලං වෙනවා එක්ක මට යාළුවා එක්ක පුස්තකාලේ යන්න උනේ නෑ යාළුවත් ඒ ලව් එක බ්‍රේක් කලා.... දුටු සතුටු මල මඟ ඇරිලම ගියා ආයේ කවදාවත් මුණ ගැහුනේ නෑ....ඒක නිකන්ම නිකන් හිත් ගැනීමක් විතරයි කියලා මායි මගේ යාළුවයි කතා උනා...අද යාළුවා කතා කරද්දී ඔය කතාව  මතක් කරා තව කතා ගොඩක් තියෙනවා ලියන්නම්....

මේක ආයේ බ්ලොග් එක ලියාගෙන....ලියාගෙන යන්න  ආරම්භයක්
           කියලා හිතන්න හොදේ.....