Thursday, June 4, 2026

126. මිනිහෙක් මැරෙන්න තීරණය කරන්නේ තමන්ගේ දරාගැනීමේ සීමාව පැනපු තැන!


මිනිහෙක් මැරෙන්න තීරණය කරන්නේ තමන්ගේ දරාගැනීමේ සීමාව පැනපු තැන!

කෙනෙක් තමන්ගෙ ජීවිතේ නැති කරගත්තම අපි කියන කතාවක් තමයි "මහ මෝඩයෙක්, ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව බයගුල්ලෙක් වගේ මැරුණා" කියන එක. අපි හරි ලේසියෙන් ඒ මනුස්සයාව ජජ් කරනවා. ඒත් අපි හිතලා නෑ නේද, මනුස්සයෙක් "ආසාවට" මැරෙන්නේ නෑ කියන එක..?



ස්වභාවයෙන්ම මනුස්සයෙක්ගේ ඇඟේ තියෙන දෙයක් තමයි 'ජීවත් වීමේ ආසාව' කියන්නේ. අපි මේ හැමදේම කරන්නේ ඒකට. ඒ ස්වභාවධර්මයේ නීතිය පවා කූඩුකරගෙන මනුස්සයෙක් ලණුවක් ගාවට හරි කෝච්චියක් ඉස්සරහට හරි, බිල්ඩිමක් උඩට හරි ‍යන්නේ ඒක එයාගෙ කැමැත්ත නිසා නෙවෙයි; දීර්ඝකාලීන විඳවීම් නිසා එයාගෙ මනස සහ ශරීරය සම්පූර්ණයෙන්ම 'Shut down' වෙලා තියෙන නිසා.


මේක නිකන්ම නිකන් දුකක් නෙවෙයි. මේකට මනෝවිද්‍යාවේ සහ ජීව විද්‍යාවේ පැහැදිලි තියරි තියෙනවා.


මනෝවිද්‍යාත්මකව මොකක්ද මේ වෙන්නේ?


මනෝවිද්‍යාවේ මේ තත්ත්වය හඳුන්වන්නේ "Psychache" (සිතේ ඇතිවන දරාගත නොහැකි වේදනාව) කියලා. ගිනි ගත්ත බිල්ඩිමක උඩම තට්ටුවේ හිරවුණු මනුස්සයෙක් ජනේලෙන් පනින්නේ පනින්න තියෙන ආසාවට නෙවෙයි, පිටිපස්සෙන් එන ගින්දරේ රස්නේ දරාගන්න බැරිම තැන. අන්න ඒ වගේ තමයි දීර්ඝකාලීනව මානසිකව පීඩා විඳින මනුස්සයෙක්ටත් දැනෙන්නේ. ප්‍රශ්න, නින්දා, අපහාස, වේදනාවන් කියන ගින්දර දරාගන්න බැරිම තැන, එයාලා ඒ වේදනාවෙන් පැනලා යන්න මාර්ගයක් හොයනවා. මේකට  "Learned Helplessness" කියලා. ඒ කියන්නේ මොන දේ කළත් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ, මට කවුරුත් නෑ කියන හැඟීම මනසට තදින්ම කාවැදීම.


බයොලොජි වලින් බැලුවොත් මේක කොහොමද පැහැදිලි කරන්නේ?


මනුස්සයෙක් දිගින් දිගටම විඳවද්දි, දුක් වෙද්දි, පීඩනයට පත්වෙද්දි ඒක හිතේ විතරක් තියෙන දෙයක් නෙවෙයි, ඒක කෙළින්ම මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් කරනවා.


Stress Hormones වලට මොළය යටවීම

මනුස්සයෙක් දිගටම පීඩනයෙන් ඉද්දි ඇඟෙන් Cortisol කියන ස්ට්‍රෙස් හෝමෝනය අධිකව ශ්‍රාවය වෙනවා. මේක දිගටම වෙද්දි ඒක මොළයට වසක් වගේ.


Amygdala අවුල් වීම: මොළයේ බය සහ හැඟීම් පාලනය කරන ඇමිඩ්ඩලාව කියන කොටස අධිකව ක්‍රියාකාරී වෙනවා. එතකොට ඒ මනුස්සයාට හැමතිස්සෙම දැනෙන්නේ බයක්, කලබලයක් සහ ලොකු වේදනාවක්.


Prefrontal Cortex එක අක්‍රිය වීම: මේක තමයි ලොකුම ප්‍රස්නේ. මොළයේ ඉස්සරහ තියෙන මේ කොටසින් තමයි අපි තර්කානුකූලව හිතන්නේ, හරි වැරැද්ද තීරණය කරන්නේ, සහ ප්‍රශ්න විසඳගන්නේ.


අධික මානසික පීඩනය නිසා මේ කොටසේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වගේ අඩපණ වෙනවා.


ඒ කියන්නේ, සියදිවි නසාගන්න යන මනුස්සයෙක්ට "හරි විදිහට හිතන්න" බැරි කමක් නෙවෙයි තියෙන්නේ, එයාගේ මොළයේ හරි විදිහට හිතන්න තියෙන කොටස Biological විදිහටම අක්‍රිය වෙලා! ඉතින් එහෙම අසරණ වුණු මනුස්සයෙක්ට "මෝඩයා" කියලා බනින එක කොච්චර අසාධාරණද?


අපි කොතනද වරද්දා ගන්නේ?


අපි නොදැනුවත්වම හරි දැනුවත්වම හරි අනිත් මිනිස්සුන්ගේ මේ "දරාගැනීමේ සීමාව" පන්නන්න වැඩ කරනවා. ඔෆිස් එකේදි කපන කැපිල්ල, ගෙවල් අස්සේ දෙන මානසික වදය, සෝෂල් මීඩියා වල කෙනෙක්ව ට්‍රෝල් කරලා විහිළුවට ලක් කරන එක. මේ හැමදෙයින්ම අපි කරන්නේ අර මනුස්සයගේ මොළය ඇතුළේ කෝටිසෝල් පුරවන එක. එයාගේ තර්කානුකූල මනස විනාශ කරන එක.


කරුණාකරලා, මනුස්සයෙක් සෆර් වෙන, විඳවන තැන් වලට තවත් වැඩ කරන්න එපා! කෙනෙක් වැටිලා ඉන්නකොට එයාගේ දුර්වලකමකට හිනාවෙලා, එයාගේ අතීතය ඇදලා අරන්, නැත්තම් වටේ ඉන්න අයත් එක්ක එකතු වෙලා එයාව කොන් කරලා කතා කරද්දි, ඔයාට ඒක විහිළුවක් වුණාට ඒ මනුස්සයාගේ ඇඟ ඇතුළේ එයාගේ 'ජීවත් වීමේ ආශාව' ටික ටික මියයනවා.


ඔයාගේ එක නරක වචනයක්, එක කැත කමෙන්ට් එකක්, එක ඕපදූපයක් කෙනෙක්ගේ මරණ සහතිකය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ එක හිනාවක්, "ඔයාට කොහොමද" කියලා අහන එක වචනයක්, ඒ මනුස්සයගේ මොළය ඇතුළේ සතුට ඇති කරන සෙරොටොනින් ඩොපමින් ශ්‍රාවය කරලා එයාව ජීවත් කරවන්නත් පුළුවන්.


මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න. හැමෝම යන්නේ අපිට පේන්නේ නැති, මහා ලොකු යුද්ධයක් මැද්දෙන්.


මැරුණට පස්සේ මිනිය ඉස්සරහ අඬනවට වඩා, ජීවත් වෙලා ඉද්දි මනුස්සයෙක්ට හුස්ම ගන්න ඉඩ දෙන්න.


තවත් කෙනෙක්ගේ මානසික කඩා වැටීමකට හේතුවක් වෙන්න එපා!🙏


Sunday, May 3, 2026

125. නන්දුට ලියුමක්

ආදරණීය නන්දු ,


මිනිස්සු ආදරේ කියනකොට ඇස් නොදිලිසෙන්න පුළුවන් ඒත් මිනිස්සු ආදරෙන් පරදිනකොට ඒ මිනිස්සුන්ගේ ඇස් නිතරම කතා කරන්න ගන්නවා , කතා කර ගන්න බැරුව වෙව්ලලා ගොත ගහන්න ගන්නවා.. ඒ ඇයි දන්නවද? ඒ වෙනකොට ඒ මිනිස්සු තමන්ගේ ආදරේට හදවතේ හරි වටිනාකම දීලා  ඉවර නිසා. මන් මගේ ඇස් දෙකෙන් මිනිස්සුන්ට එහෙම වෙනවා දැකලා තියෙනවා...


             තේරුම් කිරීම ගණනාවක පස්සේ මිනිස්සුන්ට තව දුරටත් ඒ තේරුම් කිරිම විහිළුවක් උනාම , ඒ දැනෙන හැඟීම් , දැනීම් නික්මයෑම්, දරා ගැනීම් මිනිස්සු, මිනිස්සුන්ව වැටෙන්න නොදී අල්ල ගන්නේ කොහොමද කියලා, අපි රෑ එලි වෙනකම් කතා කරලා තියෙනවා ඒත් මම හැම වෙලේම ඔයාට කිව්වේ

,

 "ආදරේ මිනිස්සු ඔයාට වැටෙන්න දෙන්නේ නෑ "කියලා 


"ආදරේ නම් හෙන ගැහැව්වත් ඉන්නවා "කියලා.


"ආදරේ නම් කවදාවත් ඔයාට රිදෙනවට කැමති නෑ "කියලා


ඔයාට මතකද? ඔයා මට විහිළු කලා පොත් වල තියෙන දේවල් සැබෑ ජීවිතේ වෙන්නේ නෑ කියලා.


                     ඇත්ත, ඔයා හරි සමහර පොත් වල ලියන දේවල් අපේ සැබෑ ජීවිතේ වෙන්නේ නෑ , පොත් වගේ මිනිස්සු අපිට අහම්බෙන් හම්බෙන්නේ හරියට අපි දෙන්නට දෙන්නා හම්බුනා වගේ,

ඉතින් අහන්නකෝ.....


                   මිනිස්සුන්ගේ  ජිවීතේ සමහර දරා ගැනීම් අත හැරිම් තියෙනවා ඒවා හරියට පොල්ලෙන් ගැහැව්වා වගේ අවුරුදු ගානක් ගියත් ඒ වැදුන පොලුපාර නිසා දැනුන ඔල්මාද ගතිය නොයන, මිනිස්සු බැඳීම් හදා ගත්ත ලගම දේවල් නැති උනාම මිනිස්සුන්ට  ට්‍රැක පනිනවා, 

කඳු වගේ මිනිස්සු නාය යනවා.... 

ගල් පර්වත වගේ අය පැලිලා බිම වැටෙනවා. 

ගඟවල් වගේ මිනිස්සු හිදිලා යනවා. 

ගස් වගේ මිනිස්සු මැරිලා යනවා..

පොත් වගේ මිනිස්සු සඳහටම අතුරුදහන් වෙනවා


ඒක ඔයයි,මමයි දෙන්නම අත් විදලත් තියෙනවා


ඉතින් නන්දු,


ඔයාගෙයි මගෙයි විතරක් නෙවේ හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ බොහොම කෙටී.....


ඉතින් ලැබෙන හැම තත්පරේම ආදරේ කරමින් ජීවත් වෙන්න, නමුත් ආදරේ සොයමින් ජීවත් වෙන්න එපා!


ආදරේ සම්බන්ධ සංවාද වලදී ඔයා නිතරම රැඩිකල් වචන කිව්ව ගැටි මට මතක් වෙනවා...


"ආදරේ නම් ආදරේ තියෙයි මහන්සි වෙලා හොයන්න දෙයක් නෑ "කියලා 


ඒත් නන්දු මට ඔයා එහෙම කිව්වට ,

මතක තියා ගන්න 


රූස්ස ගස් කඩන් වැටෙනකොට සද්දේ ඇහුනට 

හිත් කඩන් වැටෙනකොට සද්දේ ඇහෙන් නෑ කියලා.


හිත් කියන්නේ වීදුරු වගේ බිඳෙන සුළුයි පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ ...අද කාලේ වචන වලට අගයක් නෑ මොකද ගොඩක් මිනිස්සු බොරුකාරයෝ.... හැබැයි ආදරේ ඔප්පු කරන්න ඇත්තටම ආදරේ මනුස්සයෙක්ට බැරි නෑ ඒත් ඔප්පු කරලා දිනා ගන්න ආදරේකින් වැඩක් තියෙනවද ? කියලා අපි හෙට කතා කරමු


මීට,

කිඹුලී

Tuesday, April 28, 2026

124. ඔබට, ඔබ වීමේ මාර්ගය කපා ගත යුත්තේ ඔබමය!

 




සාමය කියන්නේ ඔබට රිදවන අයව තේරුම් ගැනීම මත තීරණය වන දෙයක් නෙවෙයි, වරදකාරී හැඟීමකින් තොරව ඔබම ඔබව තෝරා ගැනීමෙන් තීරණය වන දෙයක් කියලා මම ඉගෙනගෙන ගනිමින් ඉන්නවා. සමහර රටා, සමහර හැසිරීම් සහ යම් ශක්තියක් ඔබේ ජීවිතයේ සදහටම රැඳී සිටීමට අදහස් කරන්නේ නැහැ. එය සෑම තත්පරයකදීම වෙනස් වෙමින් කාලය සමඟ ඉදිරියට ඇදෙනවා ....


ඉතින් දැන් මම වෙනස් විදිහට ගමන් කරනවා. මට අහිමි වූ මාව සොයා ගැනීමේ අරගලයක සිටිනවා.මම ගෞරවය වෙනුවෙන් තර්ක කරන්නේ නැහැ, මම දැනටමත් ඉගෙන ගත් පාඩම් නැවත කියන්නේවත් කරන්නේවත් නැහැ, මම මම වීම මම  මගේ ආත්මය ආරක්ෂා කිරීම වැදගත් යැයි සිතෙනවා. මෙතනදී තමන්, තමන් වීම ආත්මය නිදහස් කරන බව මම තරයේ විශ්වාස කරනවා.


ඉතින්,ගහන ගල් එතැනම වැටි තිබෙන්නට හරිනවා මිස මම ජීවිතේදී තව දුරටත් මිනිස්සු ගහන ගල් එකතු කරන්නෙක් නොවෙමි. මන්දීර තැනීමට පවා අනුන් ගහපු ගල් නොගත යුතු බව මම තරයේ විශ්වාස කරනවා. 


තමන්ට,තමන් වීමට නිදහස් comfort zone එකක් ඉදි කිරීම තමන් විසින් කල යුතු දෙයක් මිස වෙන කිසිම කෙනෙකුට ඔබට යුක්තිය ඉටු කිරිමට නොහැකි බවද මම විශ්වාස කරනවා.


ඔබට, ඔබ වීමේ මාර්ගය කපා ගත යුත්තේ ඔබමය!


Sunday, April 19, 2026

123. හොඳ මනුස්සයෙක් වෙන්න නම්


ඔබට ඇත්තටම වර්ධනය වීමට අවශ්‍ය නම්, වෙනත් කෙනෙකුගේ වේදනාව තේරුම් ගැනීමෙන් ආරම්භ කරන්න. එය ඇසීමෙන් පමණක් නොව, එය සැබවින්ම දැනීමෙන් පටන් ගන්න.සෑම කෙනෙකුම ඔවුන් පළ නොකරන සටන් සමඟ සටන් කරයි. සමහර විට ඔබට දිය හැකි හොඳම දේ මුදල් හෝ උපදෙස් නොවේ, එය ඔබේ කාලයයි. සැබෑ සංවාදයයි.නැවත ඇමතුමක්ද විය හැකිය. කෙනෙකු  බිමට පතිත වී ඇති බව දැන ගත් විට ඔවුන් සමඟ වාඩි වී සිටීන්න.


ඒ ආකාරයේ පැවැත්ම වෙනස් ලෙස බලපායි.


ජීවිතය සැහැල්ලුවෙන් දැනෙන්නට අවශ්‍ය නම්, ආත්මාර්ථකාමිත්වය අතහරින්න. සැමවිටම නිවැරදි වීම මිනිසුන් අහිමි කර ගැනීම වටින්නේ නැත. පළමුව සමාව ඉල්ලන්න. ඉක්මනින් සමාව දෙන්න. ආඩම්බරයට වඩා සාමය තෝරන්න. මාව විශ්වාස කරන්න, ඔබේ හදවත ඔබේ ආකල්පයට වඩා විශාල වූ විට ජීවිතය බොහෝ පහසු වේ.


හොඳ සමාව දෙන්නෙකු හොඳ සවන් දෙන්නෙකු හොදම ආත්මාර්ථකාමීත්වය බිඳින්නෙකු වන්න අපිට තව ජීවත් වීමට ඇත්තේ ඉතා කෙටි කාලයයි. එය සැහැල්ලුවෙන් ගත කරන්න.

Saturday, April 18, 2026

122.එක්කෝ උබ එක්කෝ මම මිෂන් එක

 මට ඔය පොඩි කාලේ ඉදන් තිබ්බ හැකියාවක් තමා හැකරැල්ලෝ, පනුවෝ, ගෙම්බෝ , ඒ වගේම කැරපොත්තෝ කියන්නේ කිසි ගේමක් නැතුව අතේ තියන් වත්ත වටේට සංචාරයක් දාන්න පුළුවන් සත්තු ටිකක් ඒත් මේ කිව්ව සත්තු අතරින් එපාම කරපු සතා තමා කැරපොත්තා.


 ඔව් අපි අද කතා කරමු අතේ ගෑවුනාම වස ගඳක් එන ජරා  කැරපොතු වස්තුව ගැන 

ඉස්සර අපේ ගෙදර බාතෲම් එකේ ජනේලයක් වෙනුවට පොඩි කවුලු තියලා තමා බාතෲම් එක හදලා තිබ්බේ හැමදාම බාතෲම් එකට ගියොත් ශරිර කෘති ඉෂ්ඨ සිද්ද කර ගන්න වගේ එක සිප්පි කෑල්ලක් සයිස් කැරපොත්තෙක් හරි එනවා ...

ඔන්න ඔය දවස් වල මට මාරම උවමනාවක් තිබ්බා කැරපොතු සංහතියම නැති කරලා දාන්න, එක්කෝ උබලා එක්කෝ මම, ඕකුන් මා එක්ක  මාර ඇරියස් එකක් තිබ්බේ ඒ දවස් වල , ඒ නිසාම දවසක් මම තීරනයේ කලා "එක්කෝ උබ , එක්කෝ මම" මිෂන් එක කරන්න

 ඒ දවස් වල කැරපොත්තන්ට ගහන ස්ප්‍රේ එහෙම ආපු කාලේ  "මෝටින්" හරි "බේගෝන් " හරි  කඩෙන් අරන් ඇවිත් දරමඩුවෙන් පටන් අරන් වත්ත කෙලාවර තුත්තිරි යායට එනකම් ස්ප්‍රේ කරලා ටික වෙලාවකින්  ඔය  එන්නේ බල්ටි ද දා කැරපොත්තෝ ට්‍රම්ප් අප්පච්චි වගේ කැරපොතු ජනපද හොය හොය ස්ප්‍රේ ගැහැව්වේ , රංජන් බොසා සිංහල ෆිල්ම් වල  fight කරනවා වගේ තමා එදා සෑහෙන්න කැරපොතු ප්‍රහාරයක් දියත් කරලා එදා අන්තීමෙට ඒ කනපිට හැරුන හැම කැරපොත්තෙක්ම අභාවප්‍රාප්ත උනා. කරන්න දෙයක් නැ වීරයෝ දිනනවා දුෂ්ඨයෝ පරදිනවා!


එදා වැටිලා වෙරි වෙලා හිටිය කැරපොත්තෙක්  කිව්වේ මෙහෙම



අඩේ අඩේ අඩේ.... ( මන් පාටියකට යන්න නෙවේ යකෝ ඉන්න මුල්ලෙන් එලියට ආවේ උබලගේ හැසිරීම බලන්න- මීට පර්ෆියුම් වැදිච්ච කැරපොත්තා)😂😂



Tuesday, April 14, 2026

121.ආදරණිය විල් තෙරේ කිඹුලී



ආදරණීය විල් තෙරේ කිඹුලී,
       හැමදාම වගේ මන් ඔයාට ආදරෙයි කියලම පටන් ගන්නම්! ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඉස්සර නම් මට ලියන්න ගොඩක් දේවල් තිබ්බා

    ඒත් , මන් හිතනවා අවුරුදු 7කට පස්සේ මට ලියන්න ආයෙත් ගොඩක් දේවල් තියෙනවා , මම ආදරේ කරපු හැටි මාව මිනිස්සු අතැරපු හැටි මම බඩ අල්ලන් හිනා උන හැටි අඬපු හැටි ජීවිතේ ආව සමහරක් කුණාටු වලදී මම නිහඬ උන හැටි ඒ විතරක් නෙවේ සමහර කුණාටු වලදී මිනිස්සු මාව අතැරපු හැටි වැටිලා ඉද්දි නැගිට්ටපු මිනිස්සු ගැන එහෙම  ලියන්න තියෙනවා....

ඒත් මේ ඒකට වෙලාව නෙවේ මන් ඔයාට එකින් එක හෙමීට ලියන්නම්...

පුංචි කන්දක් ටික ටික නාය ගිහින් විසල් කන්දක් වෙලා එකපාර නාය ගිය හැටිත් ඔයා දවසක දැන ගනි.මම වැරදි කාරයෙක් නෙවේ සමහර සිද්ධි නිසා මට මෙහෙම උනා කියලා තමා"A" කිව්වේ. 

අපි ආයේ පටන් ගමු අපිට ආදරෙන් ඉස්සරහට යන්න ඉතින් මම ඔයාට ආදරෙයි මගේ ලස්සන ළමයෝ




Wednesday, November 27, 2019

120.බඩ තඩි රාස්සයා

ආදරණීය ෆියෝනා....
                          මේ ලිපිය ඔයාට ලැබෙද්දිත් මගේ ජීවිතේ ගොඩක් දේවල් මම වෙනස් කරන් තියෙයි.සමහර විට ආයේ නොඑන්නම මගේ බුරුවා එක්ක මම මේ කැලෑවෙන් ඔයාලගේ ජීවිත වලින් ගිහින් තියෙයි.
                   දන්නවද ෆියෝනා තට්ට තනියම කැලේ මැද ගෙයක් හදන් ඉන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවේ.ඒත් ඒ සතුට සැනසීම මට හරියට වටිනාකමක් ජීවිතේට එකතු කරා. මතකද මම ඔයාට දවසක් කිව්වා මගේ ජීවිත කතාව,නපුරු මිනිස්සු මගේ ජීවිතේ අවුල් කරපු හැටි ..මම වැටුන හැටි....ඉබේම නැගිට්ටුන හැටි......මම කවදාවත් ප්‍රශ්ණ වලින් පැනලා ගියේ නෑ ඒවා එක්කම හිත රිදෙන්න ,රිදෙන්න උන් හැටි....මම වැටුනම නැගිටින්න දන්නේ නැති හැටි.... හ්ම්ම්ම්ම්...
                        ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට ඔය පිස්සු මළ විකාර බුරුවා අහම්බෙන් හම්බුනා.ඌට මගේ පස්සෙන් එන්න එපා කියනකොට ඌ මගේ ගෙදර මගේ හොදම යාළුවා වෙලා නැවතුනා ඌගේ කට හොද නෑ තමා ඒත් ඌගේ හිත හොදයි...
            ඉතිං ඔයා හැමදාම කිව්වා වගේ බඩ තඩි කැත රාස්සයෙක්ට ආදරය ගැන හිතන එකත් මහා විහිළුවක් ඒත් එකම,එක දවසක් මගේ හිත ගිය කෙනෙක් මට හම්බුනා...දන්නෙම නැතුව කාලය එක්ක අපි ආදරෙන් බැඳුනා...කැත රාස්සයෙක් ලස්සන කුමාරිකාවට ආදරෙයි කියලා හිතෙනකොට මට බය හිතුනා ඒත් ඒ කුමාරිකාව මට ගොඩක් ආදරේ කරා. මම රාස්සයෙක් බව අමතක වෙන්නම.
                             අපි ඒ දවස් වල ගොඩක් ආදරෙන් කාලය ගත කලා...හීනම,මේ මහා කැලේ ගස් වල තිබ්බ කොල පාට කොළ ගානටම එකතු කලා... ලස්සන ගෙයක්, පැටව් රොත්තක් එක්ක ජිවිත කාලෙම හැරමිටියෙන් යද්දිත් එකට ඉන්නවා කියලා හීන පිට හීන මැව්වා, ඒත් ඒ හැමදේම කඩාගෙන වැටෙන්න වැඩි කාලයක් ගියේ නෑ.....කුමාරිකාව ව මාළිගාවෙන් සදහටම මගෙන් වෙන් කරන් අරන් ගියා....ඒත් මම මොනා කරන්නද මම කැත බඩ තඩි රාස්සයෙක් ඇහේ කඳුලක් නලියලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී කුමාරිකාව ඈත ගස් අතරින් නොපෙනි ගියා...ෆියෝනා ඔයා හිතනවද මම හිත හදා ගත්තා කියලා.....නෑ මම නොමැරි මැරුනා.
                       ඉතින් දන්නවද ෆියෝනා එදා මම කැලේ දෙවනත් වෙන්න ඇඬුවා,ජීවිතේ නැති කර ගන්න හැදුවා ඔහේ දවස් ගණන් වැටුන,වැටුන තැන නිදි වැරුවා මට ඇත්තටම ආත්මශක්තියක් තිබ්බේ නෑ නගරෙට ගිහින් මාළිගාවෙන් ගේම ඉල්ලලා කුමාරිකාවගේ අත පතන්න මොකද මම කැත බඩ තඩි රාස්සයෙක් නිසා...
                  ඒත් මම මගේ හිතට හයිය අරන් වෙස් වලාගෙන  බුරුවා එක්ක නගරෙට ආවා නගරයම හරි ලස්සන සකුරා මල් වලින් හැඩ ගැන්විලා....හැම මනුස්සයෙක්ම අලුත් ඇඳුම් වලින් සැරසිලා උන්නා..ඒත් මාළිගාව උඩ මහා මූසල අඳුරු වළාකුලක් නැවතිලා තිබුනා.එතකොට ලග පාත මිනිස්සු කිව්වා ඇහුනා නපුරු මන්තරකාරියක් මාළිගාව අල්ලගෙන කියලා. මම තව කිට්ටු වෙලා බැලුවම මාළිගාවේ සඳළුතලේ මම ආදරේ කරපු කුමාරි ...දෙයියනේ ....ඒ අර මායාකාරි ......ඒකී මාව රවට්ටලා කියලා දැනෙද්දී , මුළු මාළිගයම කුඩු පට්ටම් කරලා දාන්න හිතුනා.ඒත් හිතේ තිබ්බ ආදරේ තරම නිසා මට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා.මගේ කකුල් පණ නැති වේගෙන එද්දී බුරුවා මාව වාරු කරන් වීදියේ කොනකට එක්ක ආවා...එතන ඉදන් මේ විස්තරේ මම ඔයාට ලියනවා.
            දන්නවද ෆියෝනා ඒ නපුරු මායාකාරි මගේ ජීවිතේටම සාපයක් විදිහට ආදරේ හිතේ තැම්පත් කරලා යන්නම ගියා. මම ඒ ආදරේ නිසා නොමැරි මැරෙනවා දැන්...මට සමාවෙන්න මට ඇත්ත ෆියෝනා අදුර ගන්න බැරි උනා...අර නපුරු මායාකාරිත් ෆියෝනා කියලම මට ඒත්තු ගන්වලා තිබ්බේ.... ඒත් මම කරේ ආදරේ කරන එක විතරමයි... දැන් අපි සේරමල්ලා පරක්කූ වැඩී ෆියෝනා....මේ මතක වේදනා අමතක වෙනකම් මම බුරුවා එක්ක පාරක්,පාරක් ගානේ ඇවිද ඇවිද ඔහේ ජීවත් වෙනවා.මට ආයේ කැලේට එන්න බෑ..
          ඉතින් ෆියෝනා ඔයාගේ ගිණි මකරිට  මගේ බුරු මිත්‍රයා මනාප බව කියන්න ...අපි මේ සංසාරේ කොහේ හරි හමුවෙයි.එතකම්  නවතිමි.
     
                                         මීට
                                  ඔයාගේ බඩ තඩි කැත රාස්සයා
                                             ශ්රේක්