Thursday, July 18, 2019

118. අතීත කතා බිඳ දැමීම


          සංසාරගත කතා අතර මම,නුඹ අපි මුණගැහීම, මම අදහමි.ඒ අන්ධ භක්තිමත් බව ජීවිතය පවා අතැර යෑමට තරම් වේදනාවක් බව පසක් කරමි...ජීවිතය කුමක් දැයි කීමට මම නොදනිමි...මුල සිටම මුලට අකටයුතුකම් උවහොත් ගසක් උඳුරා බිම වැටෙන බව මම දනිමි.ඉතින් මම උඳුරා බිම පතිත වූ අතීත කතා සිහි කරමි...
         ප්‍රථම පතිත වීම පොඩි කෙල්ලක්ව සිටියදී නපුරු හීනයක් සේ මට අදටත් මතකය.ඒ අන්ධකාර මූසල රාත්‍රිය අදටත් ආත්මය දවාලන වේදනාවක් යැයි මම ලියමි. අතරින් පතර ගස් වල කොල අතරට වැටුන ගල් කැට වන් වතුර බිංදු වල ශබ්දයට මූසලය,මම අදටත් අකැමැතිය.සුසුම පවා සිර වී හදවත මොහොතකට නවතා හිසෙහි කේශ නාලිකා හිර වැටි ගිය හැටිද හොඳටම මතකය.ඉතින් මම ලෝකයටම රහසින් වැටුනී....
       පුංචි ගස් වැටුනම නැවත සිටවා පිලිසකර කරලීමට හැකි බව මම එවකට තනිව උගතිමි.මම සෙනෙහස සොය සොයා බොහෝ කාලයක් ගිලන් වී සිටියෙමි.කාලය කඟවේනුකු සේ ගෙවි ගිය පසුත් මට,මගේ ,මට යැයි කිසිත් අරුතක් නැති තැනක ...ජීවිතය සොයා දුන් ඒ තරු ඇස් තවත් කලකට පසු මා දෙවෙනි වරටත් ගසක් සේ බිමට ඇඳ දමා මියැදෙන්නට හැර අතැර ගියෙමි....කරුමය මෙසේ ලියැවී තිබීමද පුදුමයකි... එවිට මම සියළු දේ ඇතැර නික්මුනි .... මුහුදු හුළගක් නැති... සමකාසන්න රටෙන් නික්ම යෑම ඒ මොහොතේ දරුණුවට අවැසි වූ මොහොතකි..ඉතින් මම නැවත වෙන නිජි බිමක් තෝරා..වාසනාවක් යැයි සිතා පැල පදියම් වුනී...එහෙත් ඒ වෙනස් වූ සෘතු වලට මූණ දීම කොතරම් දුශ්කර වූවාදැයි කීමට නොහැකි තරම් වෙහෙසකර දවස් වල මහා රූස්ස ගසක් ලෙස මම නොසැලි සිට ගතිමි.මානසික පීඩනය ගෙන දීපිකා ප්‍රියදර්ශනීගේ ගීතයක අතුරා හිත තවා ගත්තෙමි.
         ඉතකින් ජීවිතේ පුංචිම අබ මල් රේණුවක් තරම් දෙයකින් පවා සතුට සොයා හිනාව  මුණ පුරා මවා ගැන්ම මට දුෂ්කර නොවුනි.එසේ සිටීම.ජීවිතය යැයි සිතීමට මම මාවම පුරුදු කර ගතිමි.ඉතින් ජීවිතේ එසේද බොහෝ කල් ගත වුනී...
         සංසාරය පුරා සෙනෙහසින් ගිලන් වූ මනුස්ස ආත්මයකට එක සෙනෙහස් අංශුවක් මහාමෙරක් තරම් වටින බව මා හොදහැටි දන්නා කරුණකි.ඉතින් මම තුන්වෙනි වැටීමට දෙඅත් විහිඳුවා ආරාධනා කලෙමි...ඒ ජීවිතේ ගෙවී ගිය සුන්දරම දවස්‍ ය. කිසිවෙක් ,කිසි විටක ලබා නොදුන් සෙනෙහසකින් උදම්ව උන් කාලයක් ය. ජීවිතය මෙසේ පිටු පෙරලී අනන්ත විශ්වාසයන් මැද එකම එක හේමන්තයක අතීතය නැවත රිපීට් වී මා රූස්ස ගසක් සේ වසන්තය මඟ හැරි බිම ඇද වැටුනී.කිසි විට කිසි දා යලිඳු නැගිටීම'ම හීනයක් වන තරමටම මම ඇද වැටුනි.

ඉතින් මම පසක් කරමි..ප්‍රේමය,ස්නේහය සදාකාලික නැති නම්....මේ වැටීම සදාකාලික නැත..මේ වේදනා සදාකාලික නැත.....මේ හිස් බව සදාකාලික නැත.....එහෙත් පෙර ලෙස රූස්ස ගසක් සේ සිට ගැනීමට හයියක් නැත.
 ඉතින් සියළු දේ අතැර නික්ම යමි...
සංසාරගත කතා මෙසේ නිමා විය හැකි.. .
සතුට ගෙන ආ සියල්ලෝ සතුට රැගෙන යති...
විශ්වාසය අනන්තව තබා විශ්වාසය බිඳ දැමු පසු, මා දැන් මා පමණක් විශ්වාස කරමි....

මේ සියළු වේදනා වලින් පසුවත්....වෛර නොකරමි...එහෙව් තැනක වියරු පලිගැනීම් නැත....උපේක්ෂා සහගතව දරා නික්ම යමි.

 පුංචිම,පුංචී හිනාවක් වෙනුවෙන් මම තවම ජීවත් වෙමි..

Wednesday, July 10, 2019

117. අරලිය මතක

අරලිය සුවඳ කොච්චර අතීතෙට ගෙනියනවද කියනවා නම් හරියටම මම ඒ දවස් වල පෙරපාසල් යන පොඩි එකෙක්...පෙරපාසලට ඊසාන දිශාවෙන් තිබ්බේ ගමේ සොහොන ඉතින් ඊසාන  දිගින් හමපු හැම හුළන් රොදකම තිබ්බේ මිනිමල් සුවඳ ඒ කානේෂන් මල් සුවඳද කියලා හරියටම තහවුරුවක් කර ගත්තේ අපේ ගෙදරට දවසක් ගෙනාපු අමු කානේෂන් මල් කලඹෙන්...ඒ මිනිමල් සුවඳ අස්සේ අරලිය මල් සුවඳක් එතිලා ආවේ සොහොනේ තිබ්බ විශාල අරලිය ගහ නිසා.....සොහොන මූසලයි ඒත් අරලිය ගහ නිසා සොහොන ලස්සනට පෙනුන එකම ජීවියා මම වෙන්න ඇති...පොඩි,පොඩි පස් කඳු ලඟ දිස් වෙන නාම පුවරු උපත විපත සඳහන් කරලා තියෙද්දී මට හිතුනෙම....උපතයි විපතයි සඳහන් කරන්න පුළුවන් නම් ඇයි බැරි නැවත ඉපදීම සඳහන් කරන්න කියලයි ඒ ගැන නම් මම මෑතක් වෙනකම් හිටියේ තරහින්.....

මම පොඩි කාලේ ගිය ගමේ ඉස්කෝලේ අරලිය ගස් හතරක්,පහක් විතර තිබුනා..මම දැකලා තිබ්බා ගෑණූ ළමයි අරලිය මල් උස තුත්තිරි ගස් වල අමුනලා මාල වළලු හදනවා.ඒත් මතක ඇති කාලෙක අරලිය ගහකට නැග්ගා මිසක් කවදාවත් මල් අමුණන්න මට උවමනාවක් තිබ්බේ නෑ..ඒ ඇයි කියන්න මම දැනන් උන්නෙත් නෑ...හැබැයි එක,දෙක වසර වලදි පන්තියේ හිටපු අනිත් පිරිමි ළමයි එක්ක කුරු වෙලා වැඩුන අරලිය ගහක නැගලා ටාසන් වගෙර් අත්තෙන් අත්තට පැන්නා ඒත් සුදු ගව්මක් ඇඳන් එහෙම පැන්නේ කොහොමද කියන්න මට මතක නෑ....

මගේ දෙවෙනි ඉස්කෝලේ අල්ලපු ගමේ තිබ්බේ ඒකෙත් අරලිය මල් ගස් තිබුනට මට ඒ වෙනකොට අරලිය මල් සහ ගස් එපා වෙලා තිබ්බා ඇත්තටම මම දුකින් උන්නේ .....මගේ පරණ ඉස්කෝලේ දාලා එන්න උනාට...ඒත් මාස තුනකින් බාලිකාවකට යන්න උනා...එතකොට හය වසර පැත්තේ තිබ්බ අරලිය ගස් වල ,කැන්ටිම ලඟ තිබ්බ අරලිය ගස් වල මල් සුවඳ මට ටික,ටික දැනෙන්න. ගත්තා...අපිට බ්‍රහස්පතින්දා දවසට භාවනා තියෙනවා මොකක්ම හරි ටොපික් එකකින් දවසක්  මේ සින්දුව ,

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

බෝධියේ විහාරයේ...

ජීවිතේ කියා හඬින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා

බෝධියේ විහාරයේ... //

ගායනය: විශාරද නීලා වික්‍රමසිංහ

කියලා භාවනාව පටන් ගත්තා...මට මේ සින්දුව අදටත් ඇහෙද්දී මොකද මන්දා මතක් වෙන්නෙම අරලිය මල්.
අපේ ඉස්කෝලේ උදේ රැස්වීම තිබ්බේ පත මාර ගස් තිබ්බ තෙරේසියන් ගාර්ඩන් එකේ....මුළු තෙරේසියන් ගාර්ඩන් එකම මැයි මල් සුවඳ එක්ක පොපියද්දී මට දැනුනේ කැන්ටිම ඉස්සරහ අරලිය මල් සුවඳ විතරමක් කිව්වොත් දන්න එකෙක් කියයි "උබට පිස්සු" කියලා...මොකද ඉස්කෝලේ බාගෙට ,බාගයක් හෙවන දුන්නේ මල් වැස්සෙව්වේ මැයි,මාර ගස් නිසා....


ඇත්තටම අරලිය? හ්ම්ම්...
අරලිය කියන්නේ මරණයේ සුවඳ විහිදන මලක්...ජීවිතේ රීෆ්‍රෙෂ් වෙලා අතීතෙට ඇඳගෙන ගිහින් මතක අස්සේ ගෙනියලා අත අරින මලක්....අහේතුකාරකව දුක හිත්තවන සුවඳක්.....මේ වෙනකොට අරලිය කියන්නේ හිත හික්මීමක් ඇති කරවන සුවඳක්

එහෙම ජීවිතේ මතක සුවඳ තියෙනවා අපිට හිනාවක් ගේන රිද්දන ඒ මොහොත එපා කරවන....
මේ මොහොතේ මම ඉන්නේ අරලිය සුවඳ එක්ක...අහේතුකාරකව සතුටින්...

මට තාම මේ සුවඳ විලවුන් එක හම්බෙලා නෑ....හොයා ගන්න ඕනේ..


Monday, July 8, 2019

116.කට හඬ බල්ලෝ කෑවා වගේ

      මගේ හඬ එක්ක මගේ අතීතේ බොහොම කුජීත මතක වලින් පිරුන එකකි...සින්දු කියන්න ගොස් නාගත් සීන් එක මම මීට පෙර ලියා ඇත..ඒත් මොන බාධකේ ආවත් අපි ආස දේ එපෑ කරන්න...ඇත්තටම මගේ කටහඬ බල්ලෝ කෑවා වගේ උනාට කිසිම ස්ටූඩියෝ එකක ෆිල්ටරින් එකක් නොකර හඬ වෙනස් කර ගන්න පුළුවන් වීම ගැන නම් නොපෙනෙන බලවේග වලට ස්තූතී කරන්න ඕනේ...
     වචන ටිකක් ලියන් ඒක දහ පාරට වඩා රෙකෝඩ් කරගෙන හොදම තත්වයෙන් රෙකෝඩ් කර ගන්නවා කියන්නේ අවුරුදු දෙකයි මාස 2 ක පොඩි එකෙක් ඉන්න ගෙදරක ලොකු දෙයක් නේද ? ගොඩක් වෙලේට පොඩ්ඩා නිදා ගන්න වෙලේට රෙකෝඩ් කරන වැඩේ තියා ගන්නවා...රෑට පොඩ්ඩා නිදා ගත්තම සවුන්ඩ් බැලන්ස් කරලා එඩිට් කරනවා...හිත ඇත්නම් පත කුඩාද කියන්නේ මේ වගේ දේවල් වලට වෙන්න ඇති....
   මගේ ජීවිතේ මට ලැබෙනවා නම් ආසම රැකියා දෙකක් තමා එකක් මේ එඩිටින් වැඩ දෙවෙනි එක තමා ඩ්‍රයිවින් ජොබ් එක....ඩ්‍රයිවින් ජොබ් එක ගැන පසුවට ලියන්නම්
      ඇත්තටම ලැප් එකක් ගන්න උවමනාව තියෙනවා ඒත් මම කැමති ඔප්ෂන් තියෙන ලැප් එක ටිකක් මිල අධිකයි ඒ නිසා පොඩ්ඩක් බ්‍රේක් කරන් ඉන්නවා ඒ උනාට iphone XR කියන්නෙත් ලැප් එකකට දෙවෙනි නැති ෆෝන් එකක්. මේ වොයිස් වැඩේ අතර තුර දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ඉල්ලීම පරිදී ප්‍රේක්ෂකයෝ අතරට නොගිය සින්දු හොයන්...විශුවල් දාලා ඉදලා හිටලා සින්දුවක් දෙකක් එඩිට් කරනවා...


මේ කිසිම දේකට මට සත පහක් ලැබෙන්නේ නෑ ඒත් මම ලබන ආත්මතෘප්තිය කියලා නිම කරන්න බෑ...සල්ලී වලට ගන්න බැරි හිතේ නිවීමම මේ දේවල් වලින් ලැබෙනවා ..පොඩි ආඩම්බරේකින් මේ සටහන තියන්නේ කවදා හරි පුතා දැන ගනී අම්මා මොනාද කලේ කියලා මේවා ලොකු මතක සටහන් තව අවුරුදු ගානකින්...

පහලින් මම කරපු වොයිස් විඩියෝ තියෙනවා බලන්න....
Youtube වීඩියෝ බලන්න