Wednesday, July 10, 2019

117. අරලිය මතක

අරලිය සුවඳ කොච්චර අතීතෙට ගෙනියනවද කියනවා නම් හරියටම මම ඒ දවස් වල පෙරපාසල් යන පොඩි එකෙක්...පෙරපාසලට ඊසාන දිශාවෙන් තිබ්බේ ගමේ සොහොන ඉතින් ඊසාන  දිගින් හමපු හැම හුළන් රොදකම තිබ්බේ මිනිමල් සුවඳ ඒ කානේෂන් මල් සුවඳද කියලා හරියටම තහවුරුවක් කර ගත්තේ අපේ ගෙදරට දවසක් ගෙනාපු අමු කානේෂන් මල් කලඹෙන්...ඒ මිනිමල් සුවඳ අස්සේ අරලිය මල් සුවඳක් එතිලා ආවේ සොහොනේ තිබ්බ විශාල අරලිය ගහ නිසා.....සොහොන මූසලයි ඒත් අරලිය ගහ නිසා සොහොන ලස්සනට පෙනුන එකම ජීවියා මම වෙන්න ඇති...පොඩි,පොඩි පස් කඳු ලඟ දිස් වෙන නාම පුවරු උපත විපත සඳහන් කරලා තියෙද්දී මට හිතුනෙම....උපතයි විපතයි සඳහන් කරන්න පුළුවන් නම් ඇයි බැරි නැවත ඉපදීම සඳහන් කරන්න කියලයි ඒ ගැන නම් මම මෑතක් වෙනකම් හිටියේ තරහින්.....

මම පොඩි කාලේ ගිය ගමේ ඉස්කෝලේ අරලිය ගස් හතරක්,පහක් විතර තිබුනා..මම දැකලා තිබ්බා ගෑණූ ළමයි අරලිය මල් උස තුත්තිරි ගස් වල අමුනලා මාල වළලු හදනවා.ඒත් මතක ඇති කාලෙක අරලිය ගහකට නැග්ගා මිසක් කවදාවත් මල් අමුණන්න මට උවමනාවක් තිබ්බේ නෑ..ඒ ඇයි කියන්න මම දැනන් උන්නෙත් නෑ...හැබැයි එක,දෙක වසර වලදි පන්තියේ හිටපු අනිත් පිරිමි ළමයි එක්ක කුරු වෙලා වැඩුන අරලිය ගහක නැගලා ටාසන් වගෙර් අත්තෙන් අත්තට පැන්නා ඒත් සුදු ගව්මක් ඇඳන් එහෙම පැන්නේ කොහොමද කියන්න මට මතක නෑ....

මගේ දෙවෙනි ඉස්කෝලේ අල්ලපු ගමේ තිබ්බේ ඒකෙත් අරලිය මල් ගස් තිබුනට මට ඒ වෙනකොට අරලිය මල් සහ ගස් එපා වෙලා තිබ්බා ඇත්තටම මම දුකින් උන්නේ .....මගේ පරණ ඉස්කෝලේ දාලා එන්න උනාට...ඒත් මාස තුනකින් බාලිකාවකට යන්න උනා...එතකොට හය වසර පැත්තේ තිබ්බ අරලිය ගස් වල ,කැන්ටිම ලඟ තිබ්බ අරලිය ගස් වල මල් සුවඳ මට ටික,ටික දැනෙන්න. ගත්තා...අපිට බ්‍රහස්පතින්දා දවසට භාවනා තියෙනවා මොකක්ම හරි ටොපික් එකකින් දවසක්  මේ සින්දුව ,

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

බෝධියේ විහාරයේ...

ජීවිතේ කියා හඬින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා

බෝධියේ විහාරයේ... //

ගායනය: විශාරද නීලා වික්‍රමසිංහ

කියලා භාවනාව පටන් ගත්තා...මට මේ සින්දුව අදටත් ඇහෙද්දී මොකද මන්දා මතක් වෙන්නෙම අරලිය මල්.
අපේ ඉස්කෝලේ උදේ රැස්වීම තිබ්බේ පත මාර ගස් තිබ්බ තෙරේසියන් ගාර්ඩන් එකේ....මුළු තෙරේසියන් ගාර්ඩන් එකම මැයි මල් සුවඳ එක්ක පොපියද්දී මට දැනුනේ කැන්ටිම ඉස්සරහ අරලිය මල් සුවඳ විතරමක් කිව්වොත් දන්න එකෙක් කියයි "උබට පිස්සු" කියලා...මොකද ඉස්කෝලේ බාගෙට ,බාගයක් හෙවන දුන්නේ මල් වැස්සෙව්වේ මැයි,මාර ගස් නිසා....


ඇත්තටම අරලිය? හ්ම්ම්...
අරලිය කියන්නේ මරණයේ සුවඳ විහිදන මලක්...ජීවිතේ රීෆ්‍රෙෂ් වෙලා අතීතෙට ඇඳගෙන ගිහින් මතක අස්සේ ගෙනියලා අත අරින මලක්....අහේතුකාරකව දුක හිත්තවන සුවඳක්.....මේ වෙනකොට අරලිය කියන්නේ හිත හික්මීමක් ඇති කරවන සුවඳක්

එහෙම ජීවිතේ මතක සුවඳ තියෙනවා අපිට හිනාවක් ගේන රිද්දන ඒ මොහොත එපා කරවන....
මේ මොහොතේ මම ඉන්නේ අරලිය සුවඳ එක්ක...අහේතුකාරකව සතුටින්...

මට තාම මේ සුවඳ විලවුන් එක හම්බෙලා නෑ....හොයා ගන්න ඕනේ..


24 comments:

  1. // ඇයි බැරි නැවත ඉපදීම සඳහන් කරන්න
    ඇත්ත තමයි.පොඩි එවුන්ට එන තාර්කික පුරස්න.දන්න පොඩ්ඩෙක් හිටියා බුවාට තිබුන පුරස්නේ මිනිහා හැදුනේ වඳුරාගෙන්නං ගස් උඩ ඉන්න වඳුරන්ට
    මිනිස්සු වෙන්න කොච්චර කල් යයිද කියලා..

    //බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
    කාලා වරකෝ කට්ටිය භාවනාම කරන්න ඇති ඕක අහලා :-)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ තියෙන්නේ මාරම පුරස්න තමයි..සිරිබිරිස්... අපි කවදත් භාවනා කලේ නෑ හොදට ඇස් වහන් භාවනා කරනවා වගේ උන්න ඉතිම්....

      Delete
  2. අරලිය කියන්නේ සිත් නිවන මලක් නොවැ. අරලියා ගස්වලින් වටවුනු ලොකුවත්තක තියෙන ගෙයක ජිවත් වෙන්න හිත් කොනක පොඩි ආසාවක් තියේනවා.එත් බොලේ ඒක ඉස්ට කොරගන්න අගමැති කම ගන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. අරලිය හරි අමාරුද මන්දා වවන්න...මෙදා පාර ලංකාවට ආව වෙලේ අම්මා කොහෙන්ද මන්දා අරලිය පැලයක් ගෙනල්ලා ඉන්දවලා තිබ්බා...මල් පොකුරකුත් ඇවිත් තිබ්බා....මං හිතන්නේ අරලිය හිඟයි අපේ පැත්තේ

      Delete
  3. මටත් ඔය අරලිය ගාය තදින්ම තියේ. හැබැයි සුදු අරලිය මල් විතරයි. ඔපිස් එකේ තියෙන අරලිය ගහෙන් වැටෙන මලක් අහුලලා ටේබල් එක උඩ තියාගෙන ඉන්නේ මම හැමදාම.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි..ඒ හීන් සුවඳ මරු නෙහ්

      Delete
  4. විනීත පූ තුමියනි...
    පාර දිගේ යන මහා වැදගත් හදිස්සි ගමන් අතරතුර, පාරේ වැටිලා තියෙන අරලිය මල් අහුලන එකෙක් දැක්කොත්... ආ ඒ වෙන කව්ද මමම තමයි!
    සුදු වගේම, සුදු පාට මලේ මැද්දේ අර ලස්සන රෝස පාට වෙන එකටත් හරිම ආසයි.

    මට පිස්සු නැහැ! දැන් මට සැනසිල්ලේ ඇහැ පියෝගන්න පුළුවන්.. හි හි

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ලිඛිතා මටත් පිස්සු නෑ සැනසිල්ලේ උපත ලඟින් විපත දා ගන්න පුළුවන්.. අවුරුදු 12 කට පස්සේ දෙසැම්බර් ලංකාවට ආවම තමා අරලිය මල් සුවඳ වින්දේ ඒකත් අම්මා ඉන්දපු පැලේකින්

      Delete
    2. ප්‍රීතියි ප්‍රීතියි ලිඛී උත්තමාවිය.

      Delete
  5. ලස්සනට පිපුණ කහ පාට අරලියා මලක් තරම් මගේ හිතට සතුට, සැනසීම ගේන වෙන මලක් ඇත්තේම නැති තරම්. ඒකට හේතුව මම ලිව්වා දවසක්, මේ තියෙන්නේ: මගේ ආදරණීය අරලිය මල

    ReplyDelete
    Replies
    1. ඇත්ත සුදු අරලිය පරිස්සමින් ඇහිදින්න ළඟ තියා ගන්න ඕනේ චූටි නිය පාරකට උනත් පෙති කළු වෙනවා මට නම් අරලිය කියන්නෙම භාවනාවක්.....මේක කියවන්න ඕනේ ස්තූතී යන පාර කිව්වට

      Delete
  6. අපේ පාසලෙත් අරලිය ගස් හුඟක් තැන් වල තිබ්බා, එක කොටසක අරලිය ගස් දිගටම තිබ්බා.. මාත් ආසම මලක් තමා අරලිය.. එකෙනුත් කහ සුදු හරි රෝස සුදු හරි මිශ්‍ර වෙච්ච අරලිය මල්වලට තමා මං හුඟක් කැමති... අරලිය කියන්නේ මටත් මතක යායක්... ඒවා ඇහැරුණා ඔබේ කතාව කියවනකොට...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි ඒ කතා ටිකත් ලියමු නේද අරු

      Delete
  7. ඔයාගේ මේ පෝස්ට් එක මාව මගේ අතීතයේ යම් යම් තැන් වලට ගෙනිහින් අතහැරියා.ඔය සුසාන භූමි වලට පෙම් කරන එක මට අවුරුදු දොළහෙදී විතර පිස්සුවක් වගේ තිබුනා. ඒක උනේ සන්නස්ගල සර්ගෙ වස්සන සිහිනිය කියවලා.ඒකෙ හියෙනවා වැස්සෙ තෙමි තෙමී සොහොන් කොත් ගානෙ ඇවිදින පිස්සු ළමයෙක් කියලා කසුන්ට.වැඩේ කියන්නේ ඔය කසුන් ඒ කාලෙ ඉදලා තියෙන්නෙත් ගල්කිස්සේ.ඉතින් මටත් ඕන උනා ඒ දවස්වල ගල්කිස්ස කනත්තේ සොහොන් කොත් කියෝ කියෝ ඇවිදින්න ඇවිදින්න.ඒ වෙනකොට මගේ ආච්චියි සීයයි දෙන්නම නැවතිලා හිටියෙත් එහෙ.ඒ හේතුව ඉස්සර කරගෙන මම ගොඩක් වෙලාවට තාත්තා එක්ක ගල්කිස්ස කනත්තට යන්න පුරුදු වෙලා හිටියා.ඒ යන ගමන් වලදි කසුන් වගේ කෙනෙක් ඉන්නවද කියල බලන්නත් අමතක කලේ නෑ.ඇත්තටම මගේ තාත්තව එහෙ ගෙනිහින් නවත්තනකනම් මම ගල්කිස්ස කනත්තට අප්‍රමාණව පෙම් කලා.දැන්නම් සමහර වෙලාවට එතනින් යන්නෙත් අහක බලාගෙන.

    අරලියා මල් සුවඳ මාව ගෙනිහින් නවත්තන්නෙත් ඉස්කෝලෙ කාලෙ. ඒ කාලෙ මම ආසම මල ආසම සුවඳ අරලියා.ඒත් මේ කාලෙ වෙනකොට මට අරලිය සුවඳට කලින් සේපාලිකා ගැට පිච්ච සුවඳ ඉක්මනට මතක් වෙනවා ඒ නිසා මම හිතන්නේ මම වැඩියම කැමති සේපාලිකා, ගැට පිච්ච, අරලියා කියන පිලිවෙලට කියලා.

    බෝධියේ විහාරයේ සින්දුව මාව ගෙනිහින් නවත්තන්නේ මෙන්න මෙතන

    http://kavisandalla.blogspot.com/2012/09/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. හප්පා ප්‍රින්ටින් මිස්ටේක් ගොඩයි.ගනන් ගන්න එපා හොදේ උණ එකසිය ගානට මේක කියෙව්වම කමෙන්ට් නොදාම බෑ වගේ දැනුන නිසා නිදිමරගාතෙන්ම කෙටුවා අකුරු

      Delete
    2. නෑ....මම අකුරු වැරදි තැන් දැක්කේ නැ...හැමෝටම මල් වලට සොහොන් වලට බැඳුන කතා එමටයි...අසනීපේ ඉක්මනින් සනීප වේවා!! මෙච්චර දිගට මතකයක් ලිව්වට ස්තූති සොඳුරු

      Delete
  8. අරලියා කිව්වාම මාර බැඳිමක් හිතට දැනෙනවා. වෙන මොකුත් හින්දා නෙවෙයි ඉස්කෝලේ ග්ර වුන්ඩ් එක වටේට තිබ්බ අරලියා ගස් පේලිය නිසා. එක පැත්තකින් විලෝ ගස් පේළිය. එත් ප්රැ‍ක්ටිස් කරලා ඉවර වෙලා මහන්සිය නිවා ගන්නේ අරලිය ගස් යට. ඒක ඒ සුවදත් එක්ත එකතු වෙච්ච සුවඳායි හැඟිමක්. තව එක එක සිද්දි ගොඩයි ඉතිං අරලිය කිව්වාම. ආදරවන්තයින් වෙන් වෙලා ගිහින් උනත් අරලිය ගස් වල නම් ලියපු ආරවන්තයින්ගේ නම් ඒ ගස් වල තාම නොමැකි තියෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකෙත් අරලියා ගස් දෙකක් තිබ්බා දැනුයි මතක් උනේ....එව්වා නම් එහෙම තමා

      Delete
  9. “The Greek word for "return" is nostos. Algos means "suffering." So nostalgia is the suffering caused by an unappeased yearning to return.”
    ― Milan Kundera

    ReplyDelete
  10. ඉපදීම තනිකරම දුකක් . ඉතිං එතන ඉදන් මැරෙනකම් ම ජීවිතේ දුකක් . මොන සල්ලි වාහන ගෙවල් දොරවල් තිබුනත් වැඩක් නෑ ජීවිතේ දුකක් .

    මං යනවා .......

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ....හැමදේම අනිත්‍යයි කියලා හිතීමම ...හිත නිදහස් කරනවා මල්ලී ...

      Delete
  11. අරලිය මල් වල , අනිත් මල් වල නැති අමුතු වෙනස් ගතියක් තියෙනවා කියන එක මාත් පිලිගන්නවා.
    ඔය ලියලා තියෙනවා වගේ එක මරණය එක්ක සම්බන්ධ ද කියන එකනම් හරියට දන්නේ නැහැ. එත් ඒ මලේ මොකක්දෝ ගුප්ත් බවක් හැංගිලා තියෙනවා.

    පොස්ට් එක නම් ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාලේ ඉදන් අරලිය මල් දැක්කේ ගමේ පල්ලියෙයි කනත්තෙයි...ඊට පස්සේ ඉස්කෝලේ...එ නිසා වෙන්න ඇති....සුදු මල් පොකුරක් අතින් දරාගෙන ඔබේ සොහොන ලග නැවතී කියද්දිත් මට මැවෙන්නේ අරලිය මල් පොකුරක්

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!