Wednesday, September 13, 2017

101.ආඝාතය(Stroke) ,(අංශභාගය)සඳහා වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර


                                       


                 ආඝාතය යනු හදිස්සියේ ඇති වන රෝග තත්වයකි.මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර  සැපයුම අඩාල වීම නිසා මෙය ඇති වේ.එමඟින් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන්(O2) සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ  නොලැබි යාමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි.

  පුංචි ආඝාතය (Mini Stroke) ඇතිව නැති වන ආඝාතය[Transient Ischaemic Attack -(TIA)]
              
       මෙම තත්වයේදී සිදුවන්නේ ආඝාතයට අදාළ  රෝග ලක්ෂණ සුළු වේලාවක්(මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් ) පැවතීම පැය 24ක් ඇතුළත 'පුංචි ආඝාතය' සම්පුර්ණයෙන්ම සුවවේ.

            *නමුත් පුංචි ආඝාතය(TIA) යනු මරණයට හෝ ස්ථීර ආබාධිත තත්ත්වයට හේතු වන ලොකු ආඝාතයක පෙර නිමිත්තකි.
         
        
             *ලෝකයේ මරණයට පත් වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගනී. එමෙන්ම වැඩිහිටියන් ආබාධිතයින් වන ප්‍රධානතම හේතුව ආඝාතයයි.

         ආඝාතය ප්‍රධාන වශයෙන් හේතු දෙකක් නිසා ඇතිවේ.
                    - රැධිර නාල අවහිර වීමෙන්( Ischaemic Stroke )
                    -&*; රැධිර නාල පිපිරී මොළය තුළට ලේ ගැලිමෙන්(Haemorrhagic Stroke)
      
     ආඝාතය මොළයේ ඇති වු ස්ථානය හා ප්‍රමාණය අනුව රෝගීන්ගේ රෝග ලක්ෂණ වෙනස් වේ.බහුතරයක් රෝගීන්ගේ ශරීරයේ එක් පැත්තක චලනය මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් දුර්වල වීම,සමතුලිතතාවය අඩු වීම(Balance), කතා කිරීමට (Communication ) හා ආහාර ගිලීමට අපහසු වීම,කට පැත්තකට යෑම,මස් පිඩු වල තානයේ ( Tone) වෙනසක්, සමායෝජනයේ(Coordination) වෙනසක්, සංවේදන වල වෙනස්කම් (Sensory) ,සංජනනයේ (Cognitive,Perception,Memory) වෙනස්කම්,හැසිරීම් රටාවල ( Behaviour ) වෙනසක් යන ලක්ෂණ වලින් කිහිපයක් හෝ සියල්ලම හෝ පෙන්නුම් කරයි. මෙහි දී රෝගියාගේ ශාරීරික ,මානසික, සමාජීය සහ පවුලේ කටයුතු වලට සෘජුවම රෝගය බලපායි..
               ආඝාතය වැලඳුනු රෝගියෙකු රෝහලට ඇතුලත් කල විගසම වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ඇරඹේ. පලමුව වෘත්තීය චිකිත්සක නිළධාරියා ,රෝගියා මුලික වශයෙන් ඇගයීමකට (Assessment)ලක් කරයි
            
                        *මෙහිදී රෝගීයාගේ වෛද්‍යමය පසුබිම(Medical Back Ground)
            
                        *පෙර රෝගී තත්වයන් පිළිබඳ විස්තර(Past Medical History )
              
               *ශාරීරික ඇගයීම(Physical assessment )
             
                 *සංවේදන ඇගයීම(Touch,Pain,Propreception)
             
                   *;සංජනනය පිළිබඳ ඇගයීම(Cognitive ,Perception,Memory)
               
                    *පෙනීම(vision)
           
                   *දෛනික ක්‍රියාකාරකම් ඇගයීම(ADL)
           
           .      *උපකරණ භාවිතය පිළිබඳ දෛනික ක්‍රියාකරකම්(IADL)
           
                  *මනෝ සමාජීය ඇගයීම( psychosocial)
      
                  *  රැකියාව පිළිබඳ ඇගයීම(Work Assessment/vocational assessment)
                     *නිවස හා අවට පරිසරය ඇගයීම(Home environment)
                    *ගුණාත්මක බාවය ඇගයීම(Quality Of Life)
                    *වැටිමේ අවදානම ඇගයීම(Falls Risk Assessment)
                   *සමාජ ගත කිරිම ඇගයීම(Community reintegration)
                              


ඉහත ඇගයීමේ කටයුතු සඳහා ලෝකයේ පිළිගත් සම්මත විද්‍යානුකූල ඇගයීමේ දර්ශකයන් භාවිතා කරයි(Standard Assessment Test)
                 මෙම ඇගයීම් වලින් පසුව රෝගීයාගේ ප්‍රතිකාරමය අරමුණු තීරණය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය අවදීන්  කිහිපයකින් සිදුවේ.
                 එනම්;
                   * මුලික(Acute)
                   *පුනුරුත්ථාපන ක්‍රියාවලිය(Rehabilitation) 
                    *නැවත රෝගියා සමාජගත කිරීම.(community reintegration)
             
            පහත අරමුණු කරා රෝගීයා ලඟා කර ගැනීමට ඉහත අවදින් තුළ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාරයන් රෝගීයාට ලබා දේ


අරමුණු
        1.රෝගීයා වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර වලට යොමු කිරිමෙන් පසු ඔහු කුමන මට්ටමේ සිටින්නේ දැයි ඇගයීම් වලින් තහවුරු කර ගනිමින් අදාළ ප්‍රතිකාර අවදීන්ට යොමු කිරිම.
          
        2. රෝගීයා සහ ඔහුගේ පවුලේ අය රෝගී තත්වය පිළිබඳ දැනුවත් කිරීම හා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම  පිළිබඳ උපදෙස් ලබා දීම.

       3. රෝගීයාට තව දුරටත් ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වේද, නැතහොත් රෝහලෙන් නික්ම යා යුතුද,නෝඑසේ නම් තව දුරටත් බාහිර රෝගීන්(OPD) වශයෙන් ප්‍රතිකාර සඳහා පැමිණිය යුතුද යන්න වරින් වර ඔවුන්ගේ රෝගී තත්වය පරික්ෂා කිරිමෙන් (Fallow Up) අනතුරුව  තීරණය කරනු ලබයි.
          
          4. රෝගීයා සතු මූලික කුසලතාවයන් දියුණු කිරිම
      
            5. රෝගීයාට ඇති වීමට හැකි සංකූලතා වලක්වා ගැනීම(complication)
              
                    6.චාලක(motor),සංවේදන(sensory), හැකියාවන් යථාතත්වයට පත් කර ගැනීම සඳහා උපකාර වීම.
                
               7. චලන හැකියාවන් දියුණු කිරිම,චලන පරාසයන් වැඩි කිරිම හා ගාත්‍රා,කඳෙහි චලන පාලනය කිරීම

             8. මාංශ පේශීන්ගේ තානය සාමාන්‍ය කිරීම(Normalize The Muscle tone)

             9. රොගීයාගේ සංජනනාත්මක හා සංවේදනමය හැකියාවන් දියුණු කිරීම.(perception And cognition)

            10. දෛනික ක්‍රියාකාරකම් කර ගැනීම සඳහා අවශ්‍ය ශාරීරික තුලනය (Function Balance)දියුණු කිරීම.

             11.දෛනික ක්‍රියාකාරකම්(ADL), උපකරණ භාවිත කිරීමේ දෛනික ක්‍රියාකාරකම් (IADL)දියුණු කිරීම.
   
             13. නිවැරදි ප්‍රතිකාර ක්‍රම වලින් පසුව රෝගියා රෝහලෙන් නික්ම ගොස් ප්‍රජාවේදී  සිදු කරන කටයුතු පහසු කරවීම.

          14. නිවැරදි ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් නිවසේදි හා ආයතනයේදී තම වැඩ කර ගැනීම පහසු කර වීම.
    
              15. අවශ්‍ය කරන සුදුසු ආධාරක උපකරණ(Assistive Device) නිර්දේශ කිරිම හා ඒවායේ පරිහරණය පිළිබද අවබෝධයක් ලබා දීම

          16. නිවස තුල හා අවට නිවැරදි නිරික්ෂණ තක්සේරැවකින් (Home assessment)පසුව නිවසේදී සිදු විය හැකි අනතුරු (Home Hazard)අවම කිරීම හා නිවසේ යම්,යම් ස්ථාන හා උපකරණ  වල සිදු කල යුතු වෙනස්කම්(Home Modification) පිළිබඳ දැනුවත් කිරීම.

     17. ක්‍රියාකාරකම් වල නිරත කරවමින් (Activity Engagement)රෝගියා නිවැරදිව සමාජ ගත කර (Social Interaction)ඔහුගේ ජීවිතේ ගුණාත්මක බව දියුණු කිරීම(Quality Of Life).

           18. ප්‍රතිකාර ලබා දීමෙන්  අනතුරුව ඔහුගේ ඵලදායිතා මට්ටම (productivity )පිළිබඳ නිවැරදිව තක්සේරු (work assessment)කර ඔහුට යෝග්‍යය රැකියාවක්,ආදායම් මාර්ගයක් තෝරා ගැනිමට උදව් දෙමින් ඔහුගේ ජීවිතේ ඵලදායිතා මට්ටම ඉහල නැංවීම.

          මෙලෙස වෘත්තීය චිකිත්සාවෙන් රෝගීයාගේ හැකියාවන් වැඩි දියුණු කර ඔහුගේ ජීවිතයේ ගුණාත්මක බව ඉහල නංවනු ලැබේ.එමෙන්ම අන්‍ අයගේ උදව් නොමැතිව ස්වාධීනව තම ජීවිතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාධනය කරනු ඇත.

*ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය වේ නම් ,  
        
        වෘත්තීය චිකිත්සක අංශය
         පුනුරැත්ථාපන රෝහල,
          රාගම.
 0112958212/0112958294 (229/230)



        හැන්ඩ් බිල් එකකට සිංහලෙන් ටයිප් කරලා දෙන්න කියලා දුන්න විස්තරයක් බ්ලොග් එකේ ඇමුණුවොත් කාට උනත් වටී කියලා හිතුනා වෘත්තීය චිකිත්සක නිරෝෂා  ප්‍රියංගියා මිස්ගේ පුර්ණ අවසරේ ඇතුව 101 ලිපිය විදිහට මේ ලිපිය ලබා දීම ගැන පුර්ණ ස්තූතියත්..අතරින් පතර නිරෝෂා මිස්ගේ සහය ඇතිව වෘත්තීමය දැනුම ඇති අලුත් වටින ලිපිත් බෙදා ගන්න හිතන් ඉන්නවා..



Wednesday, September 6, 2017

100.අපි එක හුස්ම දෙකට බෙදා ගමු



      
      දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය කියන්නේ කෙටියෙන්ම කිව්වොක් මගේ පාසැල් ජීවිතේ අන්තිම කාලෙදී හිතේ දුකට බේත් දැම්ම ගායිකාවක් වගේම බොරළු ඇනෙන පය රිදවන, කවිය ඔබ කී ඇය ... සරෝජා මගේ දෝණියේ කියලා .... මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නේ මං විතරද අහලා... හුදකලා වෙච්ච පෙම්වතාණෙනි  අමතපු කාලෙක... එක කුඩේ මදි වෙච්ච ආදර කතාවක් මුමුණලා....මට කඳුළු එන්න කලින් මා දමා යන්න කියලා අයැද මේ ප්‍රේමයේ සැඩ කුණාටුවක් කියලා රසික හදවත් වික්ෂිප්ත කෙරු ගායිකාවක්.... විරහ රස රසක්ම යැයි කීමට හැකී ගීත කෝකීලාවක් මා සිත හැදී ඇත් නම් ඇයයි... හිතේ දුකක් ඇති වෙද්දී සියුම් ස්වර තතු වලින් මෘදු මොලොක් ලෙස හිත පිරි මැදිය හැකි කෙනෙක් වේ නම් ඇයගේ මිහිරි හඬ මිස වෙන කිසිත් නැති.....
           ඉතකින් ඇය වෙනුවෙන් මෙසේ ලියා තබමි...

               ජීවිතේ අඳුරුම කාලයක් එන්නේ කරපු ගොංකම් වලට ඇරියස් කවර් කරනවා වගේ ආදරය නාමයෙන් බැට කාලා,බැට කාලා ජීවිතේ අමු තිත්ත වුනාම හැමදාම අසරණ වෙන්නේ ගෑණු හිත.... ලැජ්ජාව.... කඳුළු... කලකිරිම හැමදාම ඉතිරි වුනේ ගෑණුන්ට ඒක තුන් වෙනි පන්තියේ රටක ඉපදෙන ගෑණියෙක්ට දරන්න වෙන දරන්න අමාරුම දෙයක් සහ දරන දෙයක්
       ජීවිතේ කෑලී කපා ගන්න පුළුවන් විදිහට අඳුරු වෙලා තියෙද්දී  ගෑණු අපි කවදත් බයයි කලා මැදිරි එළියත්  කවදා හරි අඩපණ වෙන පොඩි බැටරි කෑල්ලකට අමුණපු නිතර පරිපථ විසන්දි වෙන ලයිට් කැල්ලක් වෙන්න ඇති කියලා...

      වගේම ඈතම ඈත පේන කලා මැදිරි එළි වගේ දිලි දිලී නිවෙන ප්‍රදීපාගාර එළියකට පුළුවන් අතරමන් වෙලා ඉන්න මුහුදු රුවලකට ජීවිතේ හොයාන ගොඩබිමට එන්න 
පාර කියන්න..

ඔබ එළියක් දී සෙවනැල්ලක් දී
මට මා කව්දැයි  කියා දුනී
හිතුවට වැඩියෙන් සුවිසල් මා දෙස
කුරා කුහුඹු මම බලා ඉමී

      කවදාවත් ජීවිතේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැති වෙච්ච අඳුරක ගිලිලා මට මන් කව්ද කියලවත් හිතා ගන්න බැරි තැනක  ඔහේ පාවෙද්දි මම' පයින් පාග පාග සෙල්ලම් කෙරුව ජීවිතේ ඇහිද ගෙන ජීවිතේ අළු දූලී ගස්සලා නිල් ඇස් වලින් සුපර් මෑන්ටත් නැති බලයක් දාලා එළියක් දීලා ජීවිතේ ජීවත් වෙන්න ආස වෙන්න.. නැති වෙච්ච ආත්මයම දෝත පුරා දීලා ජීවිතේ හිනා වෙන්න කියලා දුන්න නුඹ..........

ඔබ ළං වෙන විට හෙමින් කුඩා වී
එකවර මට මා අහිමි වුනී
මොහොතේ ඔබ මා තුළ කිමිදී
මගේ ආත්මය ඔබම වුනී

   
      බැඳිම හිතා ගන්න බැරි තරමට දවසින ,දවස පියවරෙන් පියවර විශ්වාසය එක්ක දළුලන කොට දශම ගණන් අතීතයට මතක එකතු කරද්දි වර්තමානයේ ඉදන් අනාගතය ගැන හීන දකින්න ආස හිතෙන්න ජීවිතේ පිටු එකින් නෙක පෙරලිගෙන ගියේ නව කතාවක කතා පෙලක් වගේ...ආදරේ කරන්න කියලා දුන්නට ආදරේ කරන්න දන්නේ නැති මට ආදරේ මෙතරම් බව පෙන්නලා ආත්මයෙන් ආත්මය හොර රහසෙම හොරෙන් අරන් ගියේ මටවත් නොදැනම...ඒත් ජීවිතේ ආදරේ නාමයෙන් ආයෙත් හරි යන්න හරි වරදින්න හරි පුජා කරපු අමාරැවෙන් විසිරැනු හිතක් එකට එකතු කර ගෙන අසීමාන්තික විශ්වායෙන් රැක්ක රජෙක් සමාන නුඹ...

එක හුස්මක් ගෙන දෙකට බෙදා ගෙන
ඔබෙයි මගෙයි පණ නල රකිමි
ඔබේ සෙනෙහස හැර අන් කිසිවක් නැත
ඔබේ හදවතින් දිවි ලදිමී

ප්‍රේමයෙන් මුසපත් වීම නම් මෙයම යැයි විශ්වාස කරන්න පටන් ගත්තේ සුවිසල් හිතෙන් මේ හිත අහිංසකව රැකගෙන දුර දිහා ආපහු හැරිලා බලද්දි..හුස්මක් දෙකට බෙදා ගන්න තරම්  ජීවිතේට ඔය ජීවිතේ ඇලිලා කියලා දැනෙද්දි දෙකට නොබේදාම ඔය පෙනහළු 
ඇතුලටම මගේ හුස්මත් දෙන්න තරම් බැඳිලා ඉන්නේ ජීවිතේ ජීවත් වෙන්න ඔය හුස්ම පිම්බ ආදරය නිසාමයි..ජීවිතේ දැන් ඉතින් ජීවත් වෙන්නෙත්,මියැදෙන්නෙත් ඔය හිතම නිසා කියලා හිතෙද්දි ඇස් කොනෙන් නොදැනිම කඳුළු පනින්නේ

නුඹත් හරියට ප්‍රදීපාගාරයක් වගේ නිසාමයි හරි පාර කිව්වට හැමදාම එළියක් දුන්නට , ආත්මයේ ගිලා බැස්ස ආත්මයක් තිබ්බට...කවදාවත් අයිතී කර ගන්න බැරි නමුත් ජිවිතේ ජීවත් කරවන ඔය ආදරේ නිසාම ජීවත් වීමේ උන්මාදයෙන් කිසිදාක හැර නොයන ලෙසට ප්‍රේම කරනු මිස නුබෙන්ම දිවි ලද ජිවිතය නුබට පුදනු මිස තව 
කිසිත් මට උවමනා නැති...


මෙතැනින් ගීතය රස විදින්න