Thursday, October 15, 2015

71.මගේ හිත හා තෙවන ඇස 2


පහුගිය කාලය පුරාවට තෙවන ඇසට හසු කර ගත් හිත ගත්ත පින්තූර ටිකක් බෙදා ගන්න හිතුනා...බලන්නකෝ කොහොමද කියලා....ලංකාවේ හා ඉතාලියේ ගත් පින්තූර එකතුවක්.... මගේ හිත හා තෙවෙනි ඇස පලමු පින්තූර එකතුවට මෙතනින් ඇතුල් වන්න ---->මලේ හිත හා තෙවෙනි ඇස 1

       "සිංහ ප්‍රේමය"




        " ආණමඩුව තලාකොල වැව පන්සල"




"හිදි පිළිමය- ඇතාගල"


      "පරිණත වීම""
  

     "වියැකී යෑම""


    "කිනිහිර"


      "නගර සෝබනී"


    "රාත්‍රිය හා ආලෝකය"


  "මරණය"


   "අදුරට ආල කරන ආලෝකය"


   "අලංකාර විෂ හතු"


"මුදුව හා මෘදුව"


   "තනි වීම"


     "අම්මා"




          "අව්ව තපින බෙල්ලා"


  "හරිත"


    " කළු සුදු නගර පැනොරාමය"


  "ඇස්"


  "නිදහස"


   ස්පාන්චී කෘමියා"


  "කැලෑ මල්"


    "චමත්කාර හුදකලාව"


  "වීදී කොනේ ,ගිමන් හරින දෙපා"

    "මුහුදට පෑයු සද"


 "නගරයේ කොනක"

      "නිල්-සුදු-කළු"


Tuesday, October 6, 2015

70. අක්කා කෙනෙක් කියන්නේ "කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක්...."


            
මල්ලී කෙනෙක් ,
නංගී කෙනෙක්  කියන්නේ
අක්කා කෙනෙක්ට මහා මෙරක්....
අක්කා කෙනෙක් කියන්නේ,
මල්ලී කෙනෙක්ට,
නංගි කෙනෙක්ට
 "කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක්...."


              මමයි ,අක්කයි කියන්නේ බොහොම ටික කාලයක් එකට හිටිය දෙන්නෙක්..... අක්කට අවුරුදු 16වෙනකම් මට අවුරුදු 12 වෙනකම් අපි එකට ඉස්කෝලේ ,ආවා -ගියා ,කෑවා-බිව්වා...එකම කාමරේ ඇදවල් දෙකක් ලං කරලා එක නෙට් එකේ නිදා ගත්තා,රෑට හොල්මන් හීන දැක්කම අක්කගේ පොරවන රෙස්දෙන් අල්ල ගත්තා,තාත්තා ගෙනාව පොඩි රේඩියෝවෙන් එළි වෙනකම් සින්දු ඇහැව්වා, රන්ඬු කලා,ගහා ගත්තා,ඇඬුවා, හිනා උනා ,හොර වැඩ කලා........ඒ කාලේ ආයේ එන්නේ නෑ කියලා හිතන වාරයක් ගානේ පිච්චිලා යන හිතත්, තෙත් වෙලා යන ඇසුත් හරි,හරියට ලෝකෙන් හංගන්න  දෙන ෆයිට් එක දන්නේ මං විතරක් වෙන්න ඇති...
            ඉස්සර අක්කයි ,මායි කියන්නේ නුලයි සරුංගලෙයි වගේ...අක්කා කොහෙද යන්නේ මාත් පස්ස පාරේ...මම කොච්චර එයාට ගහලා ඇද්ද ඒ එක දවසකවත් එයා මට පාරක් ගැහැව්ව මතකයක් නෑ..එයා මට ආදරේ ඇති ඒත් කවදාවත් ඒ ආදරේ පෙන්නුවේ නෑ...මං එයාට ආදරේ කලත් මං කවදාවත් කියලත් නෑ...සමහර විට මේ ලියන සටහන අපිලිවෙලට ලියවේවි...අම්මා,තාත්තා තරම් අක්කා ගැන ලියන්න මට ලේසි නෑ...අපේ මතකය හරි පොඩ්ඩයි ඒකත් අවුරුදු 16යකට කලින් මතකයක් විතරයි...
                      ඒත් මතක් කරලා,මතක් වෙන හැමදේම අපිළිවෙලට හරි ලියලා හිත නිදහස් කර ගන්න ඕනේ.....උඩ පින්තූරයේ ඉන්නේ අක්කගේ සුදු දුව එයාගේ මල්ලිව බලා ගන්නවා ඔය පින්තූරේ අක්ක එවපු හැටියෙම මට මතක් උනේ අම්මා කියපු කතාවක්....මම ඉපදුන අලුත දවසක් රෑ හොදටම අකුණු ගහලා වහිනවලු අම්මා අක්කට මාව බලා ගන්න දිලා උයන්න ගිහින් අක්ක මට අකුණු වැදෙයි කියල බයට මාව තුරුල් කරන් ඉදලා අම්මා එද්දී...ඒ ආදරේ දැනුත් තිබුනා නම් කියලා හිතෙනවා....අපි එකම මහද්වීපේ රටවල් දෙකක..පාරවල් දෙකක....පේන මානයක අපි මුණ ගැහෙන හංදියක් නැති තරම්....අපි සෑහෙන්න දුරක් අපි නැතුව ඇවිත් කියලා දැන්,දැන් මට හිතෙනවා....හිතේ මහා හිස්කමක් මුසල විදිහට ඇඳිලා......සමහර විට මම සංවේදි වැඩි ඇති ඒ නිසා මට විතරක් මෙහෙම දැනෙනවා ඇති.....මේ ගිලිහෙමින් යන තත්පර, පැය, දවස්, සති,අවුරුදු බවට පත් වෙලා දවසක අපිට අපි නැතුවම යයි...ඒක ලෝක ස්වභාවේ.....ඒත් සල්ලි වලට අපි දෙන්නා අතර,අපේ පවුල අතර පවුරු පදනම් බදින්න අවකාශය තියෙන බව කලින්ම දැන ගත්තා නම් අපිට තිබුනා ධනවත් නොවි දුප්පත්කමින් පොහොසත් වෙන්න ...... මනුස්සකමින් පරිපුන් වෙන්න....
ඒත් ඒ හැමදේම සිතුවිලි විතරමයි....
              අක්කා දැන් අම්මා කෙනෙක් ,හොද බිරිඳක් සතුටින් ඉන්න කෙනෙක්....මම බලාපොරොත්තු උන තැන අක්කව හිතින් ඔසවලා තිබ්බ තැන එයා ඉන්නවා...ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද?අදටත් මම බනිද්දි කට පියාන කඳුළු එකතු කරාට දන්නේ නැතුව ඇති හොරෙන්,හොරෙන් මටත් මහා ගොඩක් කඳුළු වැටෙන බව.....
                            අයිතිකාරකමක් කියන්නේ කොහොමද අක්කා උඹට දැන් අයිතිකාරයෝ දෙන්නෙකුයි, අයිතිකාරියකුයි ඉන්න කොට.....තාක්ෂණ දෝෂ,කාල දෝෂ තිබුනට හිතේ දෝෂ නැතුවම අපි, අපිට ආදරෙයි....ඊයෙත්,අදත්,හෙටත් හිතේ හංගගෙන .......
                  _උඹේ නංගා_
                     

Friday, October 2, 2015

69. ගෙවි ගිය කාලය




                  මට බොහෝ දේවල් මඟ හැරි ඇත, "ගිය හකුරට අඬන පුරුද්දක් මට නැති නිසා මම මෙසේ ලියන්නට ආරම්භයක් සදහා පියවර තබමි.මාස නවයක් යනු දරුවෙකු බිහි කිරිමට ගත වන කාලයට සමාන කාලයකි.මේ කාලය තුල මම දැනුම නැමැති දරුවා බිහි කර ගතිමි.හිතවතුන් හා වල කපන උන් හදුනා ගතිමි.ජිවිතය ගැන තිබුන දැනුමට වඩා යමක් එකතු කර ගත්තේය.
                දෙසැම්බරයෙන් පසු රෝහල් හා බෙහෙත් පෙති අතර මාස කිහිපයක් ගෙවා දමන්නට සිදු විය.ජීවිතේ තිත්තම කාලය එය යැයි මතක් කිරිමද හිතට අප්‍රසන්නය.තමන්ට ,තමන් විතරක් යැයි සිතෙන තරමට බොහෝ දේවල් වෙනස් විය.හිත එකලස් වන තුරු කිසිත් ලිවීමට ප්‍රියක් නොතිබුන අතර මම නැවති ජීවිතේ දෙස උනන්දුවකින් බලා තේරුම්,බේරුම් කර ගතිමි..
               මාස නවයක් කිට්ටු වන විට සිදු වු අමතක නොවන සිදුවීම දෙකක් සටහන් තබමි. 
          ජිවිතේ දෙවන වතාවට මම කොලු පැටියෙකුගේ පුංචී අම්මා ලෙස අභිෂේක ලබන  ලදී ඒ තරම් සතුටක් මීට කලින් බුක්ති වින්දේ හා පැටියා (අක්කගේ 1වෙනි දුව) ඉපදුන දවසේය..ඉතින් මම අප්‍රමාණව සතුට විදින්නෙක් බව මම පසක් කර ගතිමි.
                මේ කාලය තුල සතුට වගේම දුක් වෙන්නටද එක හේතුවක් තිබෙන බව අමතක නොකරමි.ඒ මගේ හොදම යාළුවෙක්ගේ ජීවිත කතාවය ඇය ගැනද මතක් කල යුතුමය...
                ඇය අවුරුදු 4ක හා 2 1/2 ක කොලු පැටව් දෙදෙනෙක්ගේ මවකි...ඇගේ සැමියා කලක් ඉතාලියේ සේවය කර ලංකාවේ පදිංචියට ගිය උළු මෝල් හිමිකරුවෙක් බව යහළුවෙක් මට කියා තිබුනි.ඇය හා මා අතර තිබුනේ යාළුකමකට වඩා සහෝදරකමකි.පැණි වරකා ගෙඩියට හෙන ගසන්නාසේ මීට අවුරුදු 11 පමණ පෙර ඇති වු ඇගේ හා වෙනත් කෙනෙකුගේ පෙම් පල හිලව්වක් ගෙදරට කීම හේතුවෙන් ඇය මා හා විරසක් විය.එහෙත් එදා මා ඒ තීරනේ නොගත්තා නම් අසුවල් හාදයා ඇය පසුවදා වාහනයක කැටුව පන්ති ගෙන යෑමට තීරණය කර තිබුනි.කෙසේ හෝ මා විසින් එය වැලකු හේතුවෙන් අප විරසක විය..කාලය ගෙවී ගොස්ය මට ඇය මුණ ගැසුනු දවසක මතකයක්ද නැත එහෙත් ඈ ගැන හදිස්සියේ අසන්නට සිදු වුයේ සෝචනීය කතාවකි..ඇගේ සැමියා කුකුල් ගොවිපලක් පවත්වාගෙන ගිය අතර වැසි දිනක එයට විදුලිය ඇදීමට ගොස් විදුලි සැර වැදි මිය ගොස් ඇති බවය...ඇය දැන් දරු දෙදෙනා සමග තනි වී ඇති බව දැනෙන සෑම විටම සුසුම්ලනවා හැරුනු කොට මට කල හැක්කක් නොමැත. ලංකාවට පැමිණි දිනක ඇය මුණ ගැසිමට යායුතුය ...
               ඉපදුනොත් මරණය අපි හැමෝටම පොදු දෙයකි..ඉපදුන විට කිසිත් නොගෙනා අපි මිය යන විටද කිසිත් රැගෙන නොයති..එහෙත් නිෂ්පලව ජිවිතේ ගත කර මිය යනවාට වඩා ධනය රැස්කරනවාට වඩා....තවත් කෙනෙකුගේ ජිවිතයට හිනාවක් දීලා හිතින්ම සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්න උත්සහ කරමු.
                          මේ අවුරැද්දේ පළමු සටහන මෙසේ තබමි.

Monday, December 1, 2014

68.මකන කෑල්ලක් වෙච්ච ආදරේ


           සොදුරු දෙසැම්බරය තුල නුඹ මට බොහෝ දේ විදින්නට හා විදවන්නට අතහැර ගියෙමි. එය හරියටම අවුරුදු 9කට පෙර ඉකුත් වු අවුරුද්දය....මිනිසුන්ට කෙතරම් වේගයකින් තවකෙකුගේ හදවත ග්‍රහණය කර ගත හැකිද යන්න මම ඉගෙන ගත්තේද නුඹෙන්ය...
ආදරයේ මුලකුරු කියවන්නට අත්පොත තැබුවේ ද නුඹ නිසාමය,
බොහෝ සැහැල්ලුවෙන් සිටි මට ආදර නැමති විලංගුව දැමුවේද නුඹය..... 
ලෝකයට ආදරේ කරන්නට ඉගැන්නුවේද නුඹමය......
ගල් හිතක් පුළුන් රොදක් කෙරුවේද නුඹමය..
                   නමුදු සියල්ල සිදු වී බොහෝ කල් ගත වුවද නුඹේ මතකය හා බැදී බොහෝ දේවල් දශම තිතක් හෝ එහෙට මෙහෙට නොවි මගේ හිත් කොනක ඇත,බොහෝ දෙනෙකුට "මට අමතක "යැයි කියන බොහෝ දේ මට දින වකවානු,කාල වේලාවන් සමග ටක්කෙටම මතක දේවල්ය.බොහෝ විට මා විසින් අයින් කරන දේවල් ගැනද ලග තිබුන කාලයට වඩා හිතන්නට මා පුරුදු වී ඇත්තේ කුඩා කල සිටමය. නුඹ මා ගැන බොහෝ විට බොහෝ දේවල් දැන සිටි එකම පුද්ගලයාය. ඒ නිසාවෙන් නුඹ,නුඹවම මට එපා වෙන ලෙස හැසරීම මට මහා ලොකු දුකක් උවද ලොකුවට හිතට ගත් දෙයක් නොවුනී, එනමුදු මම නුඹට පණ සේ පෙම් කලෙමි.....දිනක නුඹට මා අවැසි වෙන ලෙසටම අහිංසකව සියල්ල විද ගතිමි, මම මට වඩා නුඹේ හිත ගැන දැන සිටියෙමි. නුඹේ ඊරිසියාවේ තරම මා දැන සිටිමි, අවසාන තුරුම්පුව මුදාහැර නුඹව අනන්තය තරමට රිදවා දැමුවෙමි,නුඹව ඇත්තටම අත් හැර ගිය බව හගවා දුරකින් සිට නුඹ දෙස නෙත් අයා සිටියෙමි,තවමත් සිටිමි.
                   නමුත් දැන් නුඹ මුහුදු හතකින් එහාය මම මුහුදු හතකින් මෙහාය, මට මගේම වු ලෝකෙක පුංචියට නුඹේ නමින් ලියැවුන මතක පොතක් ඇත,නමුත් නුඹටද ලෝකයක් ඇත,එහි මා වෙනුවෙන් දශම තිතක තරම් හෝ යමක් නැති බව මා දනිමි, නුඹ ආදරය කරන බව පැවසුවා පමණී,මා මගේ ලග තිබු සියළු දෑ ඒකරාශී කොට නුඹට ආදරේ කලෙමි, නුඹ වෙනුවෙන් මා බොහෝ දේ පැත්තකට කලෙමි,බොහොමයක් දේ අහිමි කර ගතිමි...නමුත් නුඹේ පාළුව තනි යායට මකා දැමු මකන කෑල්ලක් ගානට මගේ ආදරය වැටුන දින නුඹට වඩා මට,මගේ මතකයේ ඇත, මම හිතමි,පතමි හැම අවුරුද්දකම දෙසැම්බරය නොමැති නම් මට සැනසීමය, දෙසැම්බරයේ හැම දිනකම නුඹ මට සොදුරු මතක සටහන් ඉතිරි කර නික්ම ගොස් ඇත, ඉතකිං මම
විදිමි,
විදවමි ,
සුසුම්ලමි,
හුල්ලමි,
නිහඩව බොහෝ දේ සිහිපත් කරමි,
පතමි සතුට පමණක්
"නුඹ ඉන්න තැනක සතුටින් ඉන්න....."
මියැදෙන්න මොහොතකට පෙර මම නුඹ සොයා එමි, 
ඒ එකම එක සැරයක් තවමත් නිරුත්තර හැරයාමට හේතුව දැන ගැනිම පිනිස පමණී.....
එදාට එක බැල්මකින් හෝ ආදරේ බව නොකියන්න , 
නුඹ නොදන්න රහසක් ඇත. 
ඒ නුඹේ එක බැල්මක් තුල මං බොහෝ දේ මෙන්ම මරණයද අත හැර නැවතිය හැකි බවය.... 
නුඹ තවමත් කෙනෙකුගේ පණ කෙන්ද සමාන බව,නුඹට අමතක වී ඇත.ඉතින් මා ලවා බොහෝ දෙනාගේ සැනසීම අහිමි නොකරනවා නම් මා කැමතිය. මට මගේ කියා ඇති වීමට හෝ නැති වීමට දැනට කිසිවක් නැත නමුත් මා වෙනුවෙන් බොහෝ දෙනා තුල ඇති විශ්වාසය අංශුමාත්‍රයක් හෝ දෙදරා යනවාට මම කැමති නැත....
ඉතින් සොදුරු දෙසැම්බරය මෙසේ නුඹ නමින් සටහනක් තබමි.....


 
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා 
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා 
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා 
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා 

දිනක ආයෙත් ලංවෙලා 
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා 
මගේ සිත් පුරා 

රණ්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි 
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි 
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි 
තිස්සෙම කඳුළැල් දැසේ රැදුනේ ඉන්න බැරි හින්දයි 

දිනක ආයෙත් ලංවෙලා 
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා 
මගේ සිත් පුරා 

ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි 
හංගගෙන තව ඉන්න බැ මට ඔබට ගැති සිත අසරණයි 
කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි අපටයි 
මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරං ඔබමයි 
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා 
සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවිතය පවතින පුරා 
මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නපා 
සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා 

දිනක ආයෙත් ලංවෙලා 
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කළා 
මගේ සිත් පුරා //


උඩ තියෙන සිංදුව අවසානෙදි මං අර්ධ රෝමැන්ටික් කතාවක් ලිව්වලු.....ඕං ඉතින් මෙහෙමවත් ස්ටාට් එකක් ගත්තාලු.....

_ශානු®_

Monday, September 8, 2014

67.මා දන්නා ඉතිහාසය-------4 කොටස( ගල්වඩු කලා ශිල්ප || ,වෙදකම )


43.මා දන්නා ඉතිහාසය ---3කොටස (ගෘහ නිර්මාණ හා කලා ශිල්ප - I ) මෙතැනින් කියවන්න
             
                              ක්‍රිස්තු වර්ෂ පළමු සියවස වන විට හුණු ගලින් හා කළුගලින් බුද්ධ ප්‍රථිමා නෙළීමට ආරම්භ කර ඇතැයි විශ්වාස කෙරේ.එමෙන්ම බූදු පිළිම තුලින් බුදුන්වහන්සේගේ කරුණාව ,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කිරිම තරම් තාක්ෂණිය ශිල්පීය දැනුම,ප්‍රතිභා ශක්තිය හා කලා කෞෂලය ඉතාම උසස් මට්ටමක පැවති බව පෙන්නුම් කෙරේ..
   නිදසුන්:
 *  අති විශාල හිටි පිළිම  
                1.අවුකන හිටි පිළිමය
                 2.සැස්සේරුව හිටි පිළිමය
                 3බුදුරුවගල හිටි පිළිම්ය
                 4මාළිගාවිල හිටි පිළිමය


   * හිදි පිළිම    
        1.සමාධි පිළිමය
        2.තොළුවිල පිළිමය
        3.තන්ත්‍රිමලේ පිළිමය


   

එමෙන්ම පොළොන්නරුවේ ගල් විහාරයේ සෑතපෙන  පිළිමද නිදසුන් ලෙස ගත හැක.


                   පිළිම කලාව ගැන කරුණු සොයා බලන කල එහි ශිල්පීන්ගේ දක්ෂතා අමතක කල නොහැක ඔහුන් අතර කැටයම් හා මුර්ති කලාව සදහා අති දක්ෂ ශිල්පීන් හිටි බවට  නිදසුන් ලෙස
               1.මිහින්තලේ කණ්ඨක චෛතයේ ඇති වහල්කඩ වල ඇති සත්ව රූප,කල්පලතා,කල්ප වෘක්ෂ,පුන්කළස් ආදියද,
                2.දොරටුපාල රූප
                3.කොරවක්ගල්
                4.අශ්ව හිස සහ මිනිසා
                5.ඉසුරුමුණි පෙම් යුවළ
                                 දැක් විය හැක.


                  එමෙන්ම රජ මාලිගා තැනීමේදීත් බලකොටු තැනීමේදීත් දියුණු  තාක්ෂණික ක්‍රම බාවිතා කල බවට නිදසුන් ලෙස,සීගිරිය හා යාපහුව බලකොටු  දැක්විය හැකිය.එමෙන්ම ආසියාවේ ඇති වැදගත්ම පුරාවිදයාත්මක ස්ථාන වලින් එකක් ලෙස සැලකෙන සීගිරිය අපූර්ව තාක්ෂණික නිර්මාණයක් බවට පත් වුයේ එහි රජ වු කාශයප රජුගේ( ක්‍රි.ව.473-491) කලා කෞශලය පිළිබද හසල  දැනුම තිබු නිසා බව විශ්වාස කෙරේ.


[[සීගිරි රජ මාළිගය,රාජ සභා මණ්ඩපය,ජල උදයාන,ශිලා උදයාන,මාලක උදයාන සහ දිය අගල් කොටු පවුරු ආදියෙන් යුක්ත විය.දැනට ඉතිරිව ඇත්තේ ඒවායේ නටබුන් පමණි.සිගිරි බිතු සිතුවම් කාශයප රජු සමයේ කලා කෞශලය හා තාක්ෂණික  දැනුම විදහා දක්වන අංගයක් ලෙස සැලකිය හැකිය.ලෝ පතළ කීර්තියක් උසුලන මේ බිතු සිතුවම්  අදටත් සුරක්ෂිතව පවතින්නේ චිත්‍ර ඇදීම සදහා භාවිතා කර ඇති වර්ණ ආලේප වල තිබු ගුණාත්මක බව නිසාය. ඒ ලෙසම කලා කෞශලය අතින් සීගිරිය විශිෂ්ඨත්වයට  හේතු වී ඇත්තේ සීගිරි බිතු සිතුවම් සහ සීගිරි කැටපත් පවුරත් සීගිරියට  පිවිසීමට සකස් කර ඇති  සිංහ සෝපානයත් නිසාය.සීගිරි බලකොටුව වටා දිවෙන දිය අගල් සංකීර්ණය භුගත ජල නල පද්ධතියක් සමග සම්බන්ධ වීමෙන් ජල තාක්ෂණය පිළිබඳව එකල පැවති ශිල්පීය දැනුම විදයාමාන වේ.]]
   
       අනුරාධපුර වාහල්කඩ වලත් සිතුල් පව්වේ කරඹගල ලෙන්වලත් පැරණි චිත්‍රවල නටඹුන් අදටත් දැකිය හැක.  සීගිරිය අසල ඇති පිදුරන්ගල විහාරයේ ඇති චිත්‍රද අප රටෙහි චිත්‍ර ශිල්පීන් දේශිය චිත්‍ර කලාව වැඩිදියුණු කරගෙන අඳින ලද චිත්‍ර වලට නිදසුන්ය.මෙවැනි ලෙන් බිතු සිතුවම් ඉන්දියාවේ අජන්තා ගුහාවල ද දක්නට හැකි අතර කල්පවත්නා වර්ණ බාවිතාවට අප රටේ ශිල්පීන් කොතරම් දක්ෂයෝ දැයි අභයගිරි කැනිම් වලදි හමු වු වර්ණ ආලේපිත  උළු වල වර්ණ මැකි නොතිබීමෙන් කිව හැක.



_____වෙද කම____
        අතීතයේ වෙද කමටද රාජානුග්‍රහයද  ලැබි ඇත.පුරාවිද\යාත්මක,සාහිත\ය මුලාශ්‍රවලින් පැරණි දේශීය  වෛද\ය ක්ෂේත්‍රය සංවිධානය වු ආකාරය  වටහා ගත හැකිය.බොහෝමයක් තැන් වලින්  හමු වි ඇති රෝහල් නටබුන්වලින්  අනුමාන කළ හෑක්කේ එකල වෛද\ය ශාස්ත්‍රය විද\යාත්මක දුයුණුවක් ලබා තිබු බවය.අද භාවිතා වන වෛද\ය උපකරණවලට සමාන ව එදා තිබු තාක්ෂණය මත නිපද වු  ශල\ය වෛද\ය උපකරණ පොළොන්නරුවේ ආලාහන පිරිවෙන්  කැනිම්වල දි පැරණි රෝහල් සංකීරණයෙන්  සොයාගෙන ඇත.

කැනීම්වල  දී හමු වු නටබුන් අතර  බෙහෙත් ඔරුවක්ද විය .එය මිටර් 2.5ක් පමණ දික් වු ඔරුවකි. සර්පයන් දෂ්ට කළ  රෝගීන් සුව කිරීම සදහා බෙහෙත් යුෂවල ගිල්වා මේ බෙහෙත් ඔරුවේ සතපවා ප්‍රතිකාර කර ඇතැයි විශ්වාස කෙරේ

එකල රජවරු වෛද\ය ක්ෂේත්‍රයට දැක් වු අනුග්‍රහය
    *භික්ෂුන් හා මහා ජනතාව සඳහා වෛද\යවරු පත් කිරිම.(බුද්ධදාස රජතුමා ගම් දහයකට එක් වෛද\යවරයෙක් බැගින් පත් කළ බව මහාවංසයේ සඳහන් වේ)

    *රෝහල් හා සෞඛ\ය මධ\යස්ථාන ඇති කිරිම(1 වන  අග්බෝ,1 වන සේන,2 වන සේන,5 වන කාශ\යප හා 1  වන පරාක්‍රමබාහු ආදි රජවරු රෝහල් පිහිටුවා නඩත්තු කල බව ,අනුරාධපුර,මිහින්තලය,පොලොන්නරුව  ආදි ස්ථාන වල කරන ලද කැනීම් වලින් හමු වු තොරතුරු සනාත කර ඇත එමෙන්ම මාළිගාවිල  ඇස් රෝහලක් තිබු බවට තොරතුරු ද හමු වී ඇත.)

   *වෛද\යවරුන් පුහුණු කිරිම

    * සර්ප වෙදකම හා ප්‍රසූත වෙද සේවාව දියුණු කිරිම.

    *වෙද පොත් ලියා වෙදුන් අතර බෙදා හැරීම.

   *අංග විකල රෝගින්ට වෛද\ය පහසුකම් ලබා දීම(බුද්ධදාස රජු මේ සම්බන්දව කරන ලද කටයුතු පිළිබඳ මහාවංසයේ සඳහන් වේ)

   * වෛද\යවරුන්  නඩත්තුවට ගම්බිම් වෙන් කිරිම.
  
   *ඔසු උයන් ඇති කිරිම(මෑත කාලයේදි පුලස්ථි ඉශිවරයාගේ පිළිරුව අභියස ඔසු උයනක් තිබු බවට සාධක සොයා ගෙන ඇත)

   
   ප:ලි >>>>>
        කැනිම් වලින් සොයා ගත් වෙද ආයුද ලෝහ වලින් නිපදවා තිබු බවත් ,ලෝහ කර්මාන්තය එවකට පරිපුර්ණ කර්මාන්තයක් වී තිබු බවට සාක්ෂියකි,එමෙන්ම ලෝහ උණු කර සදා තිබු අවලෝකිතේශ්වර බෝසත් පිළිමය වෙහෙරගලින්  හමු වීම හා අභයගිරි කැනිම් වලින් ලෝකඩ කාසි හමු වීමද ලෝකඩ කර්මාන්තය සුවිශේෂි තැනක තිබු බවට  සහතික කෙරේ.

කැනිම්  වලින්  සොයා ගත්  දෑ
   *වටිනා ලෝහ ,මැණික් ,විවිධ පාෂාණ වර්ග
   * පබළු හා ආභරණ
   *'' හස් එබු කසා පන ''නැමැති කාසි
   *ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කෙරු  කෝව හා උදුන
   *දේශීය පිගන් හා වීදුරු භාණ්ඩා
   *වර්ණාලිප්ත උළු
මේ ලිපිය ලිවීමට උවමනාව තිබුනද මගේ ලැප් රාජයා මිය ගිය හේතුවෙන් පින්තූර ඇලවීම ඇපලයාගෙන් කීරිමට අපහසු කාර්යක් වු නිසා දවසින් ,දවස මේ ලිපිය පල කිරිමට කල් ගත විය.නමුත් හැකි උත්සහයක් දරා පින්තූර අංක යොදා අලවමි' එයින්  සිදු වු අපහසුතාවයක් වේ නම් කණගාටු වෙමි....මුර්තජ යයන්න ටයිප් කිරිමට \y  මෙලෙස උත්සහා කරද එය එසේ ටයිප් වන්නේ නැත,දන්නා කෙනෙක් සිටි නම් උදව් කරත්වා...ස්තූතී


Thursday, September 4, 2014

66.කිඹුල් කරවල




     සුන්දර උදෑසනක්....රස්නේ එන්න එන්නම වැඩි වෙනවා...වෙලාවකට මේ රස්නේ දරා ගන්න බැරුව හරියට  කල්පිටියේ කරවල වගේ වේලෙනවා...බෝට්ටුවක් වගේ නැවක් හෑ එහෙම එකකට කියන්නේ මොකක් කියලද අනේ මන්දා දහා දොලොස් දෙනෙක්ට දෝ යෑව හැකි බෝට්ටුවක් වගේ නැවක්....ඔව් කිඹුලියෙක් හා හා පුරා කියලා සමර් එකකට ලංකාවට නොගිය අවුරුද්දක් කාපු හොදම කට්ටක් ......ඔන්න ඔහොම හිත හිත ඉද්දි ආව සද්දයක්....ජබෝස්.....
          හින ලෝකෙක හෙන සාදයක් දාගෙන හිටිය මන් වට පිට බැලුවා ....දෙයියනේ දිය කිඳුරෝ,කිඳුරියෝ රොත්තක් තැඹිලි පාට බෝලෙකින් දිය බුන් ගහන ගමන් සෙල්ලම් කරනවා....හරියටම අලුත් මාළු කුරියෙක් කරවල කරන්න අව්වට දැම්මම ඌගේ ඇස් දෙකට වෙන  විදිහට මගේ ඇස් කාන්තිමත්ව දීප්තීමත්ව බබලනවා.....ට්‍රින් ට්‍රින්........කෝල් එකක්,,,,හිකිස් නෑ බොරුවක් මුද මැද කොයි ෆෝන් වලට සිග්නල් පොඩි කිඳුරු පැටව් ටිකක් බෝට්ටුව වගේ නැවේ සෙල්ලම් කරනවා....කිඹුලි හෙමිට කිට්ටු කරා ලාවට පැණි හිනාවක් දාලා. එතනින් මං ලගට ආව පොඩි කිඳුරු පැට්ටෙක් මෙහෙම අහනවා.

"ඔයා නාන්න මුහුදට පනින් නැද්ද"

"නෑ"

"ඇයි යේ"

"මම බයයි"

"ඇයියේ බය"

දැන් ඉතින් දීපල්ලකෝ උත්තර,(ඇයි හත්වලාමේ පොඩිම කාලේ උස් වැවේ ගිලිලා මැරෙන්න ගිහින්  යන්තම් පින් පෙට්ටියේ බර නිසා ජිවිතේ බේරුන මම පනීද මුදේ)

"ගිලෙයි කියලා"

"එහෙම වෙන්නේ නෑ,ඔයා අර ටයර් එකක් හරි,සේෆ් ජැකට් එකක් හරි දාගෙන පනින්න"

හ්ම්ම්ම් ,,,,,,මම හිනා උනා.....

"හරි එහෙනම් ඔයා ලෑස්ති වෙන්න අපි එක්ක මුහුදට පනින්න"

(හෑ මේ පොඩි උන් එක්ක ගණුදෙණු තියා ගන්න එපා කියලා අපේ ගෙදරින් නිතරෝම  කිව්වා ඒ නාහපු එකේ ප්‍රතිඵල හයියෝ......)මම හිතද්දි පොඩි එකා තදියමේ


"කෝ ඉතින් ලෑස්ති වෙලා එන්න"

"මං කියන්නම් ඔයාල අදට යන්න මං හෙට එන්නම්" 

"අනාආආආආආ ප්ලීස් එන්න"

(පොඩි  උන් එක්ක ඉද්දි පොඩ්ඩක් කපටිස් වෙන්න ඕනා )ඔව් මන් හිතුවා

"හරි....ඔයාල අදට යන්න මන් ඔයාලට සප්‍රයිස් එකක් දෙන්න පොඩි වැඩක් කරනවා  ඒක ඉවර කරන්න බැරි වෙනවා ඔයාලා එක්ක මම ආවොතින්"

                 කිඳුරු,කිඳුරි පැට්ටෝ දෙතුන් දෙනා ඇස් ලොකු කරලා මන් දිහා බැලුවා.....හරියට අහිංසක පූස් පැටව් රොත්තක් වගේ...හෙමිට මන් මේ අයගෙන් ගැලවිලා ආවා කියමුකෝ දැන් හිතහල්ලකෝ මුන්ට දෙන සප්‍රයිස් එක,මම දා හතේ ඉරට හැතැප්මයක් දුර තියලා බෝට්ටු පත්තක අන්තීම කොනේ ඉදලා  මීටරේ පැයට සැතපුම් කෝටියට කරකවනවා...මේ කෙහෙල්මල් බෝට්ටුවේ මොනා දෙන්නද මුන්ට...බොරුවක් කියලා ගැලවුනත් මම අකමැතිම දේ තමා පොඩි එව්න්ව රවට්ටන එක ...හයියෝ.......රයිට්  ආවා අයිඩියා එකක් කලා පොඩි වැඩක්  දැන් පොඩි සෙට් එකට දෙන්න සප්‍රයිස් එක හරි......
                දවල්ට හෙම කෑවා, මොනාද ඉතින්...හැමදාම වගේ වයසක සැට් එක බිලි බාපු ,දැල් දාපු මාළු ලුණු වතුරෙන් හෝදලා...(තුක් ඉතරක් මීට වඩා හොදයි නොකා ,නොබී ඉන්නවා)......හැමදාම කෑම කන වෙලාවට මට මතක් වෙන්නෙම ඉතාලියට බෝට්ටුවේ ආව මිනිස්සු කොහොම එන්න ඇද්ද කියලා,ඒ විතරක්ද ටික කාලෙකට ඉහතදි සෝමාලියන් කොල්ලකරුවන්ට අහු වුන ලංකාවේ ධීවරයෝ කොහොම  පිටි ලුණු වතුරෙන් අනලා රොටි හදන් කෑවද කියලා,හෑ ඒ විතරක්ද කොලොම්බස්ගේ කාලේ මුහුද මැද කොච්චර සීන් වෙන්න ඇද්ද....හම්ම්මේ හිතපු දුර පඳුරක් තැලුවා රයිට්....අන්න හවස් අතේ පොඩි කිඳුරු පැට්ටා ආයෙත් මං ලගට ආවා.........

"කෝ,අපිට දෙනවයි කිව්ව සප්‍රයිස් එක"

"ආ මන් එහෙම දෙයක්  කිව්වද"

"අනාආආආ කරුණා කරලා දෙන්නාආආආආආඅ"

"හ්ම්ම්ම්ම්, එහෙනම් අනිත් අයවත් එක්කගෙන මෙතන්ට එන්න ,මම ගිහින් ඒ  දේ අරන් එන්නම්"

බෙල්ලේ එල්ලිගෙන හිටිය පොඩි කිඳුරු පැටියා දිව්වා.මම හෙමින් පඩි පෙළ බැහැලා,කැබින් එකට ආවා...සප්‍රයිස් එකට හදපු දේවල් ගෙනියන්න.....


මම කැබින් එකේ ඉදන්  උඩට එද්දි පොඩි කිඳුරු,කිඳුරි පැටව් කට්ටියම ඇවිත් බලන් ඉන්නවා.......මගේ අතේ තිබුන උරේ මන් හංගගෙන......

"හරි දැන් ඔයාලා ඇස් වහා ගන්න"

පොඩි උන් ටික දඩස් ගාලා ඇස් වහා ගත්තා...මං හෙමිහිට උරේ ඇතුලේ තිබුන  දේවල් ටික බිම දැම්මා...

"හරි පොඩ්ඩනේ ඇස් අරින්න" 

පොඩ්ඩෝ ටික ඇස් ඇරියා... හැමෝම පුදුමෙන් වගේ  පුංචියට හදලා තිබුන ඔරගාමි මාළු,ගෙබ්බෝ,බෝට්ටු,රොකට්,කුරුල්ලෝ  අතට අරන්  හරව ,හරව බලද්දි මං පැත්තක ඉදන් පොඩ්ඩන්ගේ  ඒ ඇස් වල තිබ්බ සතුට දැක්ක......හැබයි ඉතින් අන්තීමෙට සේෆ් ජැකට් දාගෙන  මුහුදට පනින්න නම් සිද්ධ උනා...මොනා උනත් ආයේ  සමර් එකකට නම් මලාට වැඩ කරන්නේ නෑ කලින් අවුරුදු වල වගේ ලංකාවට එනවා මිස......ඔන්න ඔහොම ලු කිඹුලි සමර් එකේ වැඩ කලේ..




ප.ලි. කිඹුලි ගෙදර එද්දි කට්ට කරවල ගානට වේලිලා,වේලිලා ආවා කියමුකෝ කොණ්ඩේ නිකම් වේලිච්ච පොල් කොළ ගානයි පස්සේ ඉතින් ලාස්සනට වවාගෙන ආව කොණ්ඩේ කොටට කපන්නත් සිද්ධ උනා මේ මුහුදු ගමන නිසා....හැබැයි වැස්ස වලාවක දෙවියෝ මට අනුකම්පා නොකරන්න හදිස්සියේ ගෙදර එන්න වෙන්නෙත් නෑ එහෙනම් අනිවා කිඹුල් කරවල කන්න තිබුනා හැමෝටම මදි නොකියන්න... ඔව් :D


Monday, September 1, 2014

65.හිතුවක්කාර හීන-[ අහස් යාත්‍රාව] -නිමි




දහසකුත් පැතුම් පොදි බැඳන් ජීවිතේ  සාර්ථක කර ගැනීමට මා මෙන්ම , අනිත් අයද දුටු සෑම විසල් හීනයක්ම මහා වැලි කුණාටුවකට සුන්නද්දූලී වී යන බව  හිතේ රජ කරන්නට විය...ඒ දවස මා විසින් සිහි නොකල දෙවි දේවතාවුන් කෙනෙකු නැත කාලය සුළන් පෙත්තක් මෙන් වේගයෙන් කැරකි යන බව මට දැනුනි.ලාංකීක නිලධාරියා නිමේෂයකින් අප වෙත හැරුනි.

"තමුසෙලා එකෙක්ටවත් බේරෙන්න ලැබෙන් නෑ, අහලා ඇතිනේ මැදපෙරදිග හිර ගෙවල් වල තත්වේ"  ඔහු අප වෙත මරුමුසු බැල්මක් හෙලා විදානය කරන ලදි....

     නමුත් මා ඇතුළු සියළු දෙනාට බෝකර් වැඩේ කරන ලද්දේ උපාලි නම් වෙන්නප්පුව මුදුකරේ වයෝවෘදයෙකු විසිනි....නමුත් මෙහි මුල් මොළකාරයා කවුරුන් දැයි ඔහු මිස අප නොදැන සිටි බව සැබෑවක්මය...සියළු දෙනා පැය ගානක සිට එකම පිළිතුර ලබා දීමෙන් මට දැනුන ලෙස ලාංකීක නිලධාරියා යම් තාක් දුරට හෝ සෑහීමකට පත් වු ලකුණු මුහුණෙන් පෙනෙන්නට විය.ටික වේලාවකින් අපව ගුවන් තොටිපොලේ කාමරයක රදවා තබා පැය කිහිපයකට පසු අදාල නිලධාරියා අප අමතන ලදී....

"තමුසෙලා ඔක්කෝම ලංකාවට අරින්න තානාධිපති තුමා විසින් අවසර ලබා ගත්තා..ඒත් ඉතින් ලංකාවේ හිර බත් නම් කන්නම වෙනවා.."

"අනේ සර් අපිට ලංකාවට කතා කරන්න විදිහක් හදලා දෙන්න"

මා ඇතුළු කිහිප දෙනෙක්  එම නිලධාරියාගෙන් ආයාචනා කරන ලදී...

"මෙහෙමයි ,වරදක් කරපු අයට දුරකථන පාවිච්චි කරන්න දෙන එක නීතියට පටහැනී...තමුසෙලා නමත් එක්ක ටෙලිෆෝන් නම්බර්ස් ලියලා දෙනවා මම ඒ අයට දන්වන්න වැඩ පිළිවෙලක් සලස්වන්නම්"
    ලබා දුන් කොලයේ අපේ නම්,හා ටෙලිෆෝන් නම්බර්ස් ලියා ඒ නිලධාරියා අත තබන ලදී.
          
              කාලය ගත වනවාත් සමග අපි කාමරයේ තිබු වතුර ෆිල්ටරේ පිහිටෙන් බඩගින්න මැඩ පවත්වාගෙන සිටි නමුත් එකිනෙකාගේ දෑස් තුල තිබුන කතන්දර ගැන වගේ වගක් නැති විය.සියල්ලෝම තම,තමා මුහුණ දුන් මේ තත්වය ගැන නිහඬව හුල්ලන බව විටක එකිනෙකා ඉහලට ඇද්ද හුස්ම පහලට හෙලන ශබ්දයෙන් පමණක් සනිටුහන් විය.

                                            ********************************

              පැය 10 කට පසු අපි සියළු දෙනා තවත් නිලධාරින් දෙදෙනුක සමග  ආපසු ලංකාවට පිටත් කරන ලදී ...නැවත ගුවනට නැංවු  ගුවන්යානය කටුනායකින් පොලව සිඹින විට පාන්දර 5 පමණ විය,හිතට මහත් සැනසුම් සහගත හැගීමක් ගෙන ආ නමුත් ඊලග තත්පරේ කුමකින් ,කුමකට මුහුණ දීමට සිදු වේ දැයි අපි නොදැන සිටියෙමු.ඊලග මිනිත්තු කිහිපයේ ගුවන් යානයෙන් බැස  අප ගෙන ආ ලාංකීය නිලධාරින් පෙන්නු මග ඔස්සේ ගමන් කර එක කාමරයක නතර වී සියලු දෙනා අත තිබු ගමන් මලු එහි සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් භාර ගන්න ලදී ඉන්පසු ගුවන් තොටුපලේ දොරටුවකින් පිටතට ගෙන වාහනයකින් අපිව මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන එන ලද්දේ පහුවෙනිදා ඉරිදාවක් වු බැවින් සදුදා දින උසාවී දැමිමට බව එහි සිටි නිලධාරින් කතා බස් වනු කටින්,කොනින් ඇසුනි.තෙහෙට්ටුව හා මානසීක ආතතිය නිසාම හෙම්බත් වී සිටි මා ඇතුළු කිහිප දෙනෙක් අඩ නින්දක පසු විය.වාහනය බොහෝ වේලාවක ගමනකින් පසු නැවතුන බව දැනුනත් එය හීනයැක් යැයි මට සිතුනි නමුත් ......

"බැහැපල්ල,බැහැපල්ලා සක්කිලි හැත්ත තොපි හිතුවේ නෑනේ මෙහේ එන්න වෙයි කියලා" එකින් එකා වාහනයෙන් බහින අතරතුර වසවර්ති පෙනුමැති පොලිස් නිලධාරියෙක් සිහි විකලෙන් දොඩවන්නට විය.සමහර විට අපගේ පැමිණිම ඔහුගේ කැඩි,කැඩි තිබු නින්ද සුනුවිසුනු කල වැරද්දට හිලව් වීමට ඔහු දොඩවනු ඇතැයි  මට සිතුනි.

           කලුවර අතරින් හොර හරක් පට්ටියක් පන්නගෙන ගාල් කරන අන්දමට අමු තිත්ත කුණුහරප හසුරන්නට දක්ෂ මීගමු බන්ධනාගාරයේ හිපාටුවෝ අපව කණ්ඩායම් දෙකකට බෙදා බල්ලන්ටවත් ලගින්න නුසුදුසු කූඩු වලට ගාල් කරන ලදී,ජීවිත කාලය පුරා පොලිසියකට නොගිය මට මෙලෙස ගෙඩිය පිටින් හිර ගෙදරක කූරූ ගනින්න වීම ගැන මා සිතේ ඇති වූයේ මහත් කණගාටුවකි.කෙසේ නමුත් දැන් මා හිර ගෙදරය, හතර වටින් හමා එන හඩු ඟද සමග  ඇස් පියාගෙන නින්දට වැටීමට පවා මා බිය වුයේ හුස්ම හිරවී මිය යනු ඇතයි විටක සිතුනු නිසාමය. නිමේශයකින් මුළු ලෝකයම මා හිස වටා භ්‍රමණය වෙමින් ගෙවි යන තත්පරය පවා කල්පයක් ලෙස දැනෙන්නට විය...

              *****************************
        ගෙවි ගිය ඉරිදා දින බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාප,හිරකරුවන්ගේ හැසිරිම් රටාව ගැන ඉහටත් උඩින් දැන ගන්නට ,දැක ගන්නට ,විද ගන්නට ඕනෑ තරම් උදාහරණ විය.උදා වුන සදුදා දින අපි සියළු දෙනා උසාවියට ගෙන යන ලදි සියළු දේ ගැන සලකා නඩුකාරතුමා  ලක්ෂයක ඇප මත මාස 3 ක හිර දඩුවම නියම කරන ලදි යම් හෙයකින් ලක්ෂයක මුදල ගෙවිමට නොහැකී වුවහොත් මාස 6ක සිර දඩුවමක් නියම විය.....කිහිප දෙනෙක් මුදල් ගෙවා අදාල කාල සීමාව කෙටි කර ගන්නා ලද නමුත් අම්මාටත්,තාත්තාටත් ලක්ෂයක මුදලක් සොයා ගැනීමට නොහැකී බව දැන සිටි නිසා මාස 6ක සිර දඩුවමට, මට යටත් වන්නට සිදු විය.නිදහස් කුරුල්ලෙක් මෙන් අහස පුරා පියාසලා ගිය මා හට සිදු වුයේ මාස 6ක් එක්ටැම් ගෙයක ලගින්නය නමුත් එහි ලද අද්දැකීම් බහුලය,හොද මිනිසුන් මෙන්ම අනුන්ට වලවල් කපන උන්ද එහි සිටියෝය.රාත්‍රි කාලයේදි හිර ගෙදරින් අදාල බලධාරින්ගේ අනුදැනුම ඇතුව ජාවාරම් සදහා  පිටවී ගිය කුඩුකාරයින්,මිනීමරුවන් ද විය.එයද මිහිපිට අමුතුම වෙනත් ලෝකයක්දෝ මට සිතුනි,
            මා අම්මාගෙන් උසාවි දිනයේදි හමුවු වෙලේදි මා බැලීමට හිරගෙදරට නොඑන්නට
 ආයාචනා කල පරිදි තාත්තා පමණක් මා බැලිමට සතියක් හැර සතියක් හිර ගෙදරට පැමිණියේය. හිරගෙදර ගෙවි ගිය හතරවෙනි මාසයේ මුල  බන්ධනාගාරයේ පිරිසිදුවේ උපරිමය නිසා මට හොරි නැමැති චර්ම රෝගයටද මුණදීමට විය.තාත්තා විසින් ගෙන එන ලද  ක්‍රීම් හා බෙහෙත් මට ලබා දීමට තාත්තා හට සිදු වුයේ එහි නිලධාරියා හට සිගරට් පැකට් එකක් හා රුපියල් 500ක් ලබා දීමෙන් පසුවය.මාස හය සම්පුර්ණ වීමත් සමග  මා හට නැවත ගෙදර ඒමට හැකි වුවත් පෙර ලෙස කිසිම රස්සාවක්  කිරීමට සිතක් නොවිය.තාත්තා කෙසේ හෝ පොලී ගෙවා ගෙන ගියේය.ගෙදරට වී සිටිනවා මිස මට කල හැකි දෙයක් නොවිය.ගම්මුන්ගේ රබර් ඇස් වලට හසු වීම මහා සිත්තැවුලක් ගෙන දෙන්නක්ද විය.

                  *****************
      සියල්ල මෙලෙස සිදු වෙමින්  රස්සාවක් නොකර ගෙදරට වී අවුරුද්දක් ගෙවුනි..එවකට තාත්තාගේ  ඉතාලියේ සිට පැමිණි යාලුවෙකු වු බනාඩ් අංකල්ගේ පෙරැත්ත කිරීමට අනුව  නැවත පාස්පෝට් කන්තෝරුව,පල්ලි,කෝවිල්,පන්සල් ,එම්බසී වන්දනාවේ ගොස් වතු වැඩට ඉතාලිය වෙත පිටත් වීමට අවශය වීසා බලපත්‍රය ලබා ගෙන හිතේ බයකින් තොරව ඉතාලිය බලා පිටත් වුනි,මෙවර මුළු මුදල ගෙවීමට සිදු වුයේ ලක්ෂ 10ක් වන අතර තුනෙන් එකක් ගෙවා අනිත් සියළු ගෙවීම ඉතාලිය වෙත ගිය පසු ගෙවීමට සිදු විය...තාත්තාගේ මිත්‍රත්වය නිසා පොළී නොමැතිව සියළු මුදල් බනාඩ් අංකල් ලබා දෙන ලදී,ඒ මුදල් ඉතාලියට ගොස් යුරෝ වලින් ගෙවිමට ඔහු තාත්තා සමග කතිකා කර ගැනිමම මෙවර වාසනාවක් ලෙස සැලකිය හැක.
පැරදිච්ච හීනයට යලි පණ දෙන අදිටනින් ගෙවු කාලය වැඩිද අඩුද කියන්නට මා නොදත් නමුත් මෙදා පාර  පිටරටකට තියා  UK හෙවත් උස්වැට කෙයියාවට හෝ නිතයානුකූලව යා යුතු බව හිතේ කොටා ගත්තේ හිරගෙදර විදි දුක් ගැහැට සමූහය නිසාමය.

        ලංකාවේ සිටියදී ඉතාලිය පිළිබඳ මවා සිටි හීන,බලාපොරොත්තු එකින්නෙක කඩා වැටෙන්න පටන් ගන්නට වුයේ රැකියාවක් සොයා ගැනීමට භාෂාවක් නොදැන සිටිම,ණය පොළී ගෙවිමට මුදල්,කෑමබීම,ඉඳුම්හිටුම් සදහා මුදල් සොයා ගැනීමට නොහැකි වූ තැනය. මා වතු වැඩට ආ නමුත් කරන්නට වු වතු වැඩක් නැත එය වීසා ලබා ගැනීමට යෙදු උප්පර වැට්ටියක් පමණක් බව මට වැටහී ගියේය...දෙදෙනෙකුට පමණක් සිටිය හැකි කාමරයක දහ දෙනෙකුට නිදා ගැනීමට දැමු තට්ටු ඇදවල්වල එක ඇදක අයිතිකරුවෙකු වීමට තරම් මා අසරණ වී ඇත...පාරේ ටැප් වලින් වතුර බී තාවකාලික "පාට් ටයිම්" රස්සා වලින් ඉපයු මුදල් පරිස්සමින් වියදම් කල කාලයක්ද විය වැඩ හුරුපුරුදු වීමට කියා කැන්දන් ගිය සමහරක් ලංකාවෙම පොරවල් වලට, වතුර පොදක් නැතිව වැඩ කෙරු කාලයක්ද විය.
                 සියළු දුක් කම්කටොළු පරදවා ජිවිතයේ කැඩි,බිදී,කඩතොලු කර ගනිමින් අවුරුදු හතකට පසු  කාලය මැවු වෙනස දිහා බලා තෙත් වු දෙනෙතින්  මතක සයුරේ ගිලි සිටි මා අවදි වුයේ පුංචි පුතුගේ කට හඬටය, ඇය,මා හා පුතු නැවත ලංකාව බලා යෑමට අදාල ගුවන් යානය මාරු කිරීමට කටාර් ගුවන් තොටුපොලේ රැදි ඉන්නා අතරතුර මා ආ මග දිහා සිහිපත් කෙරුණි...
          
       ප:ලි. ඉතාලිය ,මුදල් ගෙවා සිරගත වු සිර කුටියක් බව සැබෑවක්මය  තවමත් ඉඩම්-කඩම් උකස් කර යුරෝ ගැන හීන බලන ලංකාවේ අය සිටිනවා ඇත,හීන ලෝක වල ජීවත් වන හීන මාළිගා හදන ඈයෝද තවත් ඇත ඉදිරියටත් නොඅඩුව හිදුනු ඇත.යුරෝ නිසා ජිවිතය හදා ගත් බොහෝ දෙනාද යුරෝ නිසා ජීවිතය අවුල් කර ගත් අයද ඊයෙත්,අදත් හෙටත් සිටිනු ඇත...