Sunday, June 22, 2014

53.හැඟීමක්,බැඳිමක් මට හදවතේ කොටසක්





            මගේ හිත නිතර දෙවේලේ ඉව අල්ලන්නේ අතීතයට ඒ මගේ අතීතයේ  දුක්බර වගේම සුන්දර මතක සටහන් ගොන්නක් තියෙන නිසා.....සුදු කැන්වස් සපත්තු කූට්ටමකට සුදු වෙන්න හුණු ගලක් අතුල්ලපු කාලේ ඉදන් සැහැල්ලු ජීවිතයක් මට තිබුනා...මගේ මතකය හැටියට මට සපත්තු කුට්ටමක් තිවුනේ නෑ ඉස්කෝලේ දැම්මේ රබර් සෙරප්පු දෙකක් මගේ අක්කට තමා එකටම කැන්වස් සපත්තු කුට්ටමක් ගෙනත් දුන්නේ මම ඒ සපත්තු කුට්ටමට කොච්චර ආසා කලත් මට කවදාවත් ගමේ ඉස්කෝලේ යද්දි සපත්තු දාන්න බැරි උනා.....අක්කා සුදු මේස් දාලා උජාරුවට සපත්තු දාගෙන අල්ලපු ගමේ ඉස්කෝලෙට යද්දි මරනෙට,මගුලට දාපු මගේ රබර් සෙරප්පු දෙක මගේ තනියට මා එක්ක ඉස්කෝලේ ගියා......සමහර දවස් වලට කැටිමෙන් අයිස් චොක් එකක් කන්න රුපියල් 1.25  ගෙදරින් ඉල්ලන් යන්නේ බොහොම අමාරුවෙන්,මගේ මතකය හරි නම් ප්‍රේමදාස මහත්තයගේ කාලේ දුන්න කූපන් එක ලැබෙනකම් ඉන්නවා අම්මා එක්ක සමුපකාරේ ගිහින් බඩු ගන්න.....ඕකේ හොදම හරිය තමා සමුපකාරයෙන් ගන්න උණු උණු පුන්නක්කු කෑලි අම්මට හොරෙන්  කන එක....හම්මෙ අම්මා දැක්කම අපිට බනින තරම් කියලා වැඩක් නෑ.....අපිට පාණ්ඩුවලු ඒ කාලේ සමහර විට අපිට පාණ්ඩුව තියෙන්නත් ඇති කියලා දැන් හිතෙනවා....;) ඔයවගේ කොච්චර අමාරුකම් තිබ්බත් අපිට ඉගෙන ගන්න අවශය  හැමදෙයක්ම අම්මයි,තාත්තයි  වෙලාවට දුන්නා........ඒ මහන්සිය ,එයාලගේ කැපකිරිම් අක්කා නම් වතුරේ ඇරියේ නෑ ...ඒත් එයාලා බලාපොරොත්තු උන තරම් දෙයක් මට කරන්න බැරි උනා....නමුත් මනුස්සකමේ පාඩමේදි මම කාටත් වඩා ඉස්සරහින් ඉන්න බව නම් අම්මා නිතර දෙවෝලේ කියනවා.එතකොට නම් හිතට අහිංසක ආඩම්බර කමක් දැනෙනවා..
                                                         ********
          ඉස්සර  ඉස්කෝලේ නිවාඩුවට අංගම්පිටි අම්මලාගේ මහගෙදර දිහා යනවා. සෙනසුරාදා ,ඉරිදා අපි එහේ ඉන්නවා...අපේ අම්මලාගේ පවුලේ ගෑණු අයම  7 දෙනෙක් අම්මා පවුලේ 5 වෙනියා ඒත් අම්මගේ ලොකුම අක්කට ඇරෙන්න අනිත් ඔක්කෝමල්ලට අපි පුච්චි කියලා කතා කරන්නේ .අම්මගේ අන්තීම නංගි,ලොකු මහම්මලයි සීයලාගේ ගෙදර ඉන්නේ එයාට ළමයි දෙන්නයි.. ඒ  අක්කයි,අයියයි   අම්මගේ 4 වෙනි අක්කගේ,දුවයි. 2 අක්කගේ,පුතයි.මමයි,අපේ අක්කයි අර පුච්චි තමා සෙල්ලමට වැටෙන්නේ....... අම්මලාගේ මහා ගෙදර සීයා ඇති කලා එළදෙනෙක් ඒ නිසා එහේ ඉද්දි උදේට එළකිරි වරදින්නේ නෑ...තව එහේ  එළුවෝ දෙතුන්දෙනෙක් ,තාරාවෝ,කුකුල්ලු,කළුකොම් ජෝඩුවක්(මුන් ලගට ගිහින්. උන්ගේ සද්දේ දැම්මම පස්සෙන් එලවගෙන එනෝ අපි ඉතින් එකම රන් එක )හාවෝ,ඌරෝ,ඉබ්බෝ එහෙමත් එහේ ඇති කලා......මගේ මතකේ හැටියට කිරි සුදූ හාවෝ හිටියේ උන්ට මම කෑම දාලත් තියෙනවා...ඔය එළුවෝන්ව අත ගෑවම වස ගදයි,හරක් අත ගෑවමත් එමම තමා අමුතු කුයිලයක් එන්නේ හම්මෙ කියලා වැඩක් නෑ... ඉබ්බෝ හිටියේ ලිද ලග ටැංකියක...උන්ට මන් ඉස්සර බයයි ඒ නිසා වැඩියේ ඒ පැත්තේ යන්නේ නෑ........
            එහේ ගියාම අපි සෙල්ලම් කරන්න යන්නේ අල්ලපු වත්තට ඒක හෙන ලොකු පොල් වත්තක් අපි ඒ වත්ත බර්ටී වත්ත (අයිතිකාරයගේ නමින් තමා )හැදුන්නුවේ. ඒ වත්තට පය ගැහැව්ව හැමපාරම මගේ විසේ වැඩි කමට ඇදුම පුරා තුත්තිරි,කැහැබිලියා කකුලක ගාගෙනම තමා එන්නේ,ඉතිම් ලොකු  අම්මා,හරි සීයා හරි මගේ කකුලට පොල්තෙල් ගානවා හම්මේ ඔය කැහඹිලියා වලට කසන කැසිල්ල තමා කැසිල්ල ....සීයා අපි සෙට් එකවම ලිද ලග කලිසම් කොට පිටින් පොලිමට තියලා හවසට ඇග හෝදවනවා සීයා අපි එහෙට මෙහෙට වතුර සීතලට යද්දි "හා....හා...එක විදිහට හිටපල්ලකෝ ළමයිනේ " කියනවා මට අද වගේ මතකයි. ඔය ලිඳ හරි ගැඹුරුයිලු පරණ තාලේ ලිඳක්,ලිඳ ඇතුලේ පොඩි පොඩි ගස්,වතුර හෙන ගැඹුරේ තියෙන්නේ ඒ නිසාම අපි ළමයි කාටවත් ඔය ලිඳෙන් වතුර අදින්න තහනම්....ඉස්සර සීයා කියනවා ඔය ලිඳේ රන් ආදෙක් ඉන්නවලු කියලා ... ඔය ලිඳ කවදාවත් ඉහලා පිරිසිදු කරන්න බෑලු වතුර වේගෙන් උනනවලු...ඒත් වතුර වීදුරු කැටේ වගේ පැහැදිලි....ඔය ලිඳට  අඩි දහයක් දුරින් පුවක් ගස් දෙකක් තිවුනා ඵලදාව හොදටම තිබුන ඔය ගස් දෙක පාමුල ලොකු මැටි මුට්ටියක වතුර දාලා වැටෙන පුවක් ඔය මුට්ටියට දාලා තිවුනා....මගේ මතකය හරි නම් ඒ මඩ පුවක් හදන හැටි වෙන්නෝනා ...අපි සීයට බුලත් කොටන්න පුවක් ගන්නේ ඔය මුට්ටියෙන් හම්මේ ඒකේ ගඳත් එළුවන්ගේ ගඳට දෙවෙනි නෑ....
                                              *************
          ඇගසෝදගෙන ඉවර වෙද්දි  යාන්තමට කළුවර වැටිගෙන එනවා..හතර වටේම ලාම්පු එක එක  පත්තු කරලා තියලා ලොකු අම්මා අපි පොඩි සෙට් එකට  කෑම බෙදනවා අපි රෑ ඇදුම් දාගෙන පැදුරක් හෙම එලලා දුම් දාගෙන එන බත් පිගානට කෙල හලාගෙන ඉන්නවා...බත් එක ආව ගමන් මීයට පිම්බා වගේ  බත් වල රස බලන්නෙත් කවුද එකටම ඔක්කොම බත් කන්නේ කියලා ඔට්ටුවට එකෙන් මේකෙන් හැමෝම එක බත් ඇටයක් ඉතුරු නොවෙන්න කනවා ....කට්ට කරවල අල දාලා උයලා,කොස් මැල්ලුම් නාඩු හාල් බත් හම්මේ කන්න ඇහැක් බඩ පැලෙනකම්  ඔය කාලා ඉවර උනාම මන් ආසම දේ තමා කලගෙඩිය වහලා තියෙන පොල්කටු කෝප්පෙන්  වතුර එකක් නමන් බොන්න ඔය පොල් කට්ට ලස්සනට සුද්ද කරලා කෝප්පෙකටත් වඩා මට සිලුටුවට හදන්න තරම් මගේ සීයා දක්ෂ වඩුවෙක්....අපේ තාත්තා සීයලාගේ එහේ ගියාම මට තහනම් කරන එකම දේ තමා පොල් කට්ටට වතුර නමන් බොන එක..ඒත් ඉතින්  මන් අහන එකෙක් යෑ........සමහර දාට කලගෙඩියෙන් වතුර නමන්න ගිහින් පොල්කටු කොප්පේ උතුරද්දි කලගෙඩිය පෙරලිලා  වතුර හැලිලත් තියෙනවා ලොකු අම්මා බැන්නත් සීයා කවදාවත් අපිට බනිනවා මතකයක් නෑ...සීයා ලොකු අම්මට වඩා අපිට ආදරේ කරා....
      ඔන්න පොඩි සෙට් එක නිදන වාරේ අපි ඔක්කෝමල්ලා සාලේ දිගට පැදුරු දාලා  හොල්මන් කතා කිය කිය පෝලිමට තමා නිදන්නේ හම්මෙ හොල්මන් කතා වලට බයම එකී මම අනික මට පැදුරේ නිදනවා නම් කොට්ට ඕනා වටේටම නැත්තම් නින්ද යන්නේ නෑ...රෑට වටේ තියෙන කොට්ට උදේට එක එකා තුරුල් කරන් ඉන්නවා...මම තමා එකටම නිදන එකී..මම අවු.12 වෙනකම් තිබ්බ අතිශය නරකම පුරුද්ද තමා නිදි පැදුරෙම  "අම්මේ කිරි "කිව්වම අම්මා කිරි එක ලගට  ගෙනත් දෙන්න ඕනා නැත්තම් නිදි පැදුරෙම අඩනවා ... සීයලාගේ ගෙදරත් එහෙම නොවුනම නොවේ.....ඒත් උදේට පොඩි සෙට් එකත් එක්ක නැගිටිද්දි  එහෙම කිරි මතක් වෙන්නේ නෑ........නැගිටලා කිරි බොන්න කලින් සැට් එක ලිප ගාවට ගිහින් ලොකු  අම්මා නිවලා තියෙන අගුරු කෑලි අරන් දත් මදින්න ලිඳ ලගට දුවනවා ඒ වෙනකොට සීයා වතුර බේසමකට පුරවලා තියෙනවා....අපි සැට් එක හිටු කියලා අඟුරු වලින් දත් මැදලා සමහර වෙලාවට පොල් ගස් වල අඟුරු කෑලි වලින් බලි රූප හිටන් අදිනවා....(අඟුරු වලින් දත් මදින එකට අපේ තාත්තා අකමැති සීයලාගේ ගෙදර යන්න කලින් කියලම ගිහින් දාන්නේ....  අපිට දත් බුරුසු,දත් බෙහෙත් ඇදුම් බෑග් එකේ දාලා තිබුනත් අපි අඟුරු කැල්ලට ආසයි) පසුකාලීනව අපිට ගෝපාල් පැකට් එකකින් දත් මදින්න පුළුවන් උනා සීයලාගේ ගෙදරදි අපි දත් මැද්දට වඩා නම් කලේ ගෝපාල් වල මින්ට් රසට ගෝපාල් කාපු එක ...........(පාණ්ඩුවේ ලක්ෂන ඈ)
              උදේට සීයා හීල් බත් කද්දි අපි පාන් එක්ක කොච්චි මිරිස් සම්බෝල හරි ලුණු මිරිස් හරි එක්ක හුස් හාස්  ගගා කනවා.... (අපි එක්ක හිටිය අම්මගේ බාලම නංගිට ඔය ලුණු මිරිස වතුර වගේ රසට හදන්න පුළුවන් හම්මෙ පාන් රාත්තලක් හරි හෙමිට කන්න පුළුවන් එච්චරට රසයි) එක්කෝ ගෙදර ඉන්දවපු මයියොක්කා,නැත්තම් බතල,පොල් එක්ක රස බලනවා.ඊට පස්සේ බර්ටී වත්තේ සෙල්ලම් කරන්න යනවා ......ආයේ දවල්ට කන්න එනවා...කාලා කරලා අනීදා ,ලාවුළු ව්ගේ පලතුරක් කන්න ලැබෙනවා ...සමහර දවස් වලට සීයා වැල වරකා ගහෙන් පැණි බේරෙන වැල වරකා ගෙඩියක් බාලා මදුලු ගලවද්දි අපි පොරකාගෙන මදුලු  ගිලදානවා. වැල වරකා මදුලු කොච්චර  හැපුවත් මම ගිලින්න හදන ගොඩක් වෙලාවට මදුල පිටින් උගුර හරහා එක පාර බඩට යනවා......හවස් වෙලා මිරිස් ගල ලග තිබුනු ලොවි ගහා....ලොවි කඩලා ලුණුයි,මිරිසුයි එක්ක ගලේ තියලා තලද්දි කොච්චර ඇදුම් වල කහට පැල්ලම් හිටියද කියලා මතකයක් නැති තරම්..... කොච්චර ලොවි කන්න එපා කිව්වත්  මම නම් ලොවි කනවා....ඒ විතරක් නෙවේ ආක්කට ලොවි තලල දෙනවා..ඇදුම් වල පැල්ලම් දැකලා  අම්මා හැමදාම අහනවා  "පුතා ඔයා අදත් ලොවි කෑවා නේද ආයෙත් සීයලාගේ දිහා අරින් නෑ "කියලා ඒත් ඉතින්  අම්මා ආයෙත් ඊලග සතියේ සීයලාගේ ගෙදර ගිහින් දානවා....අක්කා කෙසේ වෙතත් මම  නම් එපා කියන ඔක්කොම දේවල් කරනවා.ඒ නිසාම අද මට මේ දේවල් සුන්දර මතක සටහන් විදිහට ලියන්න පුළුවන් උනා.

*************************************************************************************************************************
      මේ  හැමදේම මතක පොතේ අකුරක් නෑර සටහන් වෙලා තිවුනත්  අම්මගේ මහ ගෙදර ඒ තිබ්බ කල එළිය,තේජස දැන් නෑ  සීයා නැති උනායින්  හැමදේම වෙනස් වෙලා.ලොකු අම්මයි,අම්මගේ දෙවෙනි අක්කයි තමා දැන් එහේ ඉන්නේ ගිය පාර ලංකාවට ආව වෙලේ මම එහේ යද්දි සීයගේ මතකයන් අවදිකලේ අම්මලා උපදින්නත් කලින් සීයා හැදුව  තවමත් ක්ෂය නොවි තිබෙන ගෙදර මහා දොරත්,සාලයේ කැබිනෙට්ටු කෑල්ලත් විතරයි.කාලයත් එක්කම නෑදෑකමුත් ඈත් වෙලා අපේ පොඩි සෙට් එක ලොකු වෙලා සමහරු   විවාහ වෙලා ....මායි,අක්කයි, මහම්මගේ පුතයි  රටවල් වල අනිත් අය ලංකාවේ මම කොහොම හරි  ඉස්සර බැඳිම් තියා ගෙන හිටියත්  ඒ මිනිස්සු හිතන පතන විදිහ ඉස්සර වගේ නෑ....... වෙරළු ගෙඩියක් උනත් බෙදන් කන්න තරම් බැඳිමක් තිබ්බ, එකෙක්ට හරි පිට එකෙක් අත ඉස්සුවොත්  රොත්තගෙම ලේ කෝප වෙන ඒ පුංචි කාලෙට යන්න තිබ්බා නම් කියලා හිතෙනවා...ඒත් හැම දෙයක්ම වෙනස් වෙලා. අකමැත්තෙන් හරි  ඔය බැඳිම් වලින්  මේ මාස කිහිපයෙදි වෙච්ච දේවල් එක්ක මම අයින් වෙන්න හිතුවා. අතීතය සුන්දර මතක සටහන් ගොන්නක් මගේ හදවතේ ගැඹුරේ පරිස්සමට නිධන් ගත කරලා ඉවරයි ..."තවමත්  උන් ඔක්කොමල්ලටම මම පණ ඇරලා ආදරේ කරන බව උන්ට දවසක තේරුම් යයි එතෙක් නවතිමි........
        
_____ ශානු______

Monday, April 21, 2014

52.හදවතට එකඟව සටහන් කරමි


               ගොඩාක් දුර ආවා..........හිතට රැවටුනා.......ආදරේම ජීවිතේ කර ගත්තා.......ඒ නිසාම අඩන්න උනා........මම වැටි,වැටි නැගිට්ටද.....නැගිට ,නැගිට වැටුනද කියන්න දන්නේ නෑ......ඒත් සංසාරේ කොතනදි හරි කරපු පින් ටිකක් ඉතුරු වෙලා මට ගොඩක් ආදරේ තියෙන හිතක් ලැබුනා.....  තුවාල වෙලා මලානිකව හරි මේ හදවත ගැහෙනවා කියලා දැනෙන තරමට මන් ඒ හිතට ලෝබ බඳිනවා දැන්.....දෑගිලී අහම්බෙන් පැටළුනත් ඒ හිත මටත් හොරා මට ගොඩක් ආදරේ කරනවා...... වෙච්ච ගොඩක් දේවල් එක්ක කිසිම හිත් තැවුලක් නැතිව මාව නැගිට්ටවපු ඒ පිරිමි හිතට මන් ලෝබ වෙලා කියලා මට දැනුනේ පරක්කු වෙලා.......ඒත් ඒ හිත නපුරු නොවී මාව දිනන්නම දෛවය එක්ක පොර බදලා තියෙනවා කියලා දැනෙද්දි.....  මට ඒ ගැන සතුටුයි.....
                මම වාසනාවන්තද?එහෙම මන් මගේ හිතින්  අහනවා ......හිත කියනව මන් ගොඩක් වාසනාවන්තලු...එහෙම දැනෙද්දි මන් තනියම හිනා වෙනවා පිස්සුවකට නෙවේ හිතේ සතුට වැඩි කමකට
වෙලාවකට මන් පොඩි එකෙක් වගේ චුටි දේවල් වලට හිත නෝක්කාඩු කර ගන්න කොට   හිත හදන්න මොනා හරි කරන එයාව මම දැක්කේ ගොඩක් පරක්කු වෙලා.....මේ ඇස් කොච්චර අන්ධ වෙලාද? එක අතකට ඒ ගැන පුදුම වෙන්න දේකුත් නෑ  ඕනට වැඩියේ අඳුරේ හිටියම ඇහැ හුරු පුරුදු නෑ ආලෝකෙට..... ඒත් මන් හිතෙන් ගොඩක් ආදරේ කරලා එයාට..... මගේ හිත එහෙම කියනවා.......මන් ඒ ගැන සතුටු වෙන්න ඕනා නේ කියලා මට මතක් උනේ ගොඩක් කල් ගෙවිලා ගියාට පස්සේ ඒත් වාසනාවකට මන් මහා ලොකු පරක්කුවක් වෙලා නෑ....... ඒ හිත මගේම මගේ වෙලා දැන්..........සතුටුයි මට.......හේතුවක් ඇතුව හරි නැතුව හරි  මේ හිත ගොඩක් කඩන් වැටිලා තිබුනේ...... ආයේ මේ හිත කඩන් වැටෙන් නැති තරමට ඒ හිතින් අද ලැබුනු වචන දෙක තුන මට මහා මෙරක් වගේ......ගොඩක් ලියන්නේ නෑ ඒත් දුක වගේම සතුටෙදි මොනා හරි ඇවිත් කියලා හිත හදන ඔයාලට අද මට කෑ ගහලා කියන්න ඕනේ උනේ ලෝකේ කොනක කාලයක් ලෙඩවෙලා තිබුනු හිතක් සනීප වෙමින් පවතිනවා කියල .....දරා ගන්න බැරි ආදරේකුත් එක්ක.........
          මේ ජීවිතේ දුක ,සැප නිති පෙරලේ කිව්වට මගේ ජිවිතේ නම් සැප සතුටට වඩා දුක පිටු නොසෑහෙන්න පෙරලිලා තියෙනවා,අදටත් ඉදලා හිටලා පෙරලෙනවා,ඉස්සරහටත් එහෙම වෙයි ඒත් මට උරුම වෙච්ච ගමන යන්න මන් ගොඩාක් උත්සහ කරනවා.....ගැලපෙන්නේ නැති තැන් අමාරුවෙන් හරි ගලපගෙන  පරිස්සමින් යනවා.....ඒක කොච්චර ලේසිද අමාරුද කියන්න මන් දන්නේ නෑ ඒත් මම  ටික කාලයක් ලෙඩ වෙච්ච ගතත්,හිතත් නිසා නතර වෙච්ච මගේ ගමන ලොකු භක්තියකින් යන්න ආයෙත් පටන් ගන්නවා ...මන් දන්නවා මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නවා,  ඉතින් මට බැරි නෑ සාර්ථක වෙන්න......ජීවිතේ අදුරුයි කියලා කලාමැදිරි එළියටත් රැවටෙන හිතක් මට තිබුනා තමයි ඒත් මන් දැන් වෙනස් වෙන්න හිතන්  ඇස් දෙකම අඳුරටත් ආලෝකෙටත් දෙකටම හුරු කර ගන්නවා ...අනික අන්දකාරය පැය ගානක් තිබුනට ඊ ලග පැයේ ඉර මුදුන් වෙනවා වෙනවාමයි මට විශ්වාසයි........

------තවත් එක් හිතක්-------


ජීවිතේ  අරුමයකි 
ආදරය පුදුමයකි
බැඳිම්  මායාවකි
 කිසිදා ,කිසිවිට ,කිසිවෙකුට තේරුම් ගත නොහැකී......

_____ශානු______

Friday, April 18, 2014

51. මර්දනය හා පාස්කූ මතකය


     අද පාස්කු සිකුරාදා ගෙදර හිටියා නම් අම්මා එක්ක එකතුවෙලා කිරිබතුයි කිරි පැණී හදලා ලෑස්තී කරනවා හවසට පල්ලි ගෙනියන්න...ඒ දවස් වල පොල් ගාන රාජකාරිය මට තමා ලැබෙන්නේ.....හම්මේ පොල් ගෑම තරම් එපා කරපු ජොබක් මට තවත් නෑ.....අමාරුවෙන් හරි පොල් ගෙඩි 10 විතර ඒ කියන්නේ බෑවල් 20ක් ගානවා ගාලා ඉවර උනාම අත නිකන් නෑ,නෑ වගේ තමා.....කිරි මිරිකලා අම්ම කිරි බත් එක හදනකම් ...කිරි පැණි හැදි ගාන්න හම්බෙන්නේ අක්කට හරි මට හරි, අක්කා ලංකාවෙන් ගියාට පස්සේ ඒ වැඩෙත් මගේ කරෙන් ගියා.....ඔය කිරිපැණි හරියට හැදි ගාන්න ඕනා නැත්තන් වැඩේ දෙල් වෙනවා......අත කැඩෙනකන් ඒකත් කූරු ගෑවා කියමුකෝ.....ඊට පස්සේ  කිරිබත් කැටයයි,කිරිපැණි හැන්දයි පොඩි ෂොපින් උර වලට  දාලා ගැට ගහනවා....පස්සේ ලොකු බෑග් එකක හරි බාස්කට් එකක හරි දාලා පල්ලි ගෙනියනවා....හැබැයි එහෙම කිරිබතුයි කිරි පැණි විතරක් නෙවේ සමහරු බනිස් හිටන් ගෙනල්ල තීනවා මන් දැකලා තියෙනවා.........
           ඔය බෝලවත්ත පල්ලියට තමා අපි හැම අවුරුද්දෙමත්,දැනට අම්මයි ,තාත්තත් යන්නේ....ඔතන පාස්කූ සිකුරාදා සමරන්න ලොකු මණ්ඩපයක් හෙම හදලා ජේසුව කුරුසෙක ඇන ගහලා තියෙනවා ...මන් පොඩිකාලේ ඉදන් ආසම ඒ කුරුසේ ඉන්න ජේසු මිය යන්න යද්දි ඔළුව හොල්ලනවා බලන්න මන් ඉස්සර හිතුවෙම ඒ ඇත්තම ජේසු ඉන්නේ කියලා....ඔය  බෝලවත්ත පල්ලියට හතර වටේ ගම් වල මිනිස්සු එනවා.... පාස්කූ සිකුරාදා සමරන්න ආගමික කටයුතු ඉවර වෙලා ජේසු උකුත් උනාට පස්සේ පියතුමා මිනිස්සු බෙදන්න ගෙනාව කෑම ආශිර්වාද කරනවා ඊට පස්සේ හැමෝම ඒ කෑම බෙදනවා....ඒ අතර පොර කාගෙන කෑම ගන්න අයත් ඉන්නවා....මම නම් ඔය බෙදන සීන් වලට එන්ටර් වෙන්නේ නෑ අපේ තාත්තා තමා බෙදන සීන් කරන්නේ....මම පැත්තකට වෙලා බලන් ඉන්නවා කවුරු හරි ලගට මොනා හරි කිරිබත් කෑල්ලක් දෙනකම්....අදුරන ඇන්ටිලා,අන්කල්ලා එහෙම ලගට ගෙනත් දෙනවා....ඔහොම තමා පාස්කූ සිකුරාදා හවස සිද්ධිය........ (විශේෂ සිදු වීමක් තියෙනවා පාස්කු සිකුරාදට මන් ලංකාවේ හිටිය හැම අවුරුද්දෙම නැති වෙන්න වහිනවා මෙදා පාර කොහොමද දන්නේ නෑ)
             ඊට පස්සේ පාස්කු ඉරිදා පල්ලියේ පාස්කු ඉටි පන්දමක් පත්තු කරන් ජේසුගේ අහස් නැගිමේ මංගල්ලය(මම නිවැරදි මන් හිතන්නේ මතකයක් නෑ) සමරනවා. මන් එකම එක පාරක්ද කොහෙද මට මතක ඔය ඉරිදා රෑක පුජාවට ගියේ.....මතකයක් නෑ මොනාද කිව්වේ කියලා......දැන් සෑහෙන කාලයක්නේ.....
             මෙහේ නම් ජේසු  උකුත් වීම සමරන්නේ නෑ...උත්තානය ලොකු පාටි දාලා සමරනවා...... චොකලට් බිත්තර,කේක් මේ කාලෙදි තෑගි විදිහට ලැබෙනවා......මට නම් මෙලෝ රහක් නෑ මේ රටේ පාස්කුව.....කිසිම වැද ගැම්මකට නැති විදිහට පාස්කුව ගෙවනවා මෙ මිනිස්සු......අනික මහා සිකුරාදා වෙනුවට නිවාඩු තියෙන්නේ සදුදා ඒකත් මුන්ගේ වාසියට කොහොමින්,කොහොම හරි  වැඩ කරන් පිට රට අපි වගේ අයට දෙයියනේ කියලා ,ඉරිදා සදුදා දවස් දෙකක් නිවාඩු ලැබෙනවා...ඒ ටික තමා මට නම් වැදගත්.........ඒත් ලංකාවේ ඒ කාලේ මතක් වෙද්දි හිතට දුකයි...
     තව දෙයක් මගේ මතකයේ තියෙනවා  ඉස්කෝලේ ඉන්න කාලේ නම් භාවනා,මර්දන ක්‍රියා ඔය පාස්කූ කාලෙට කරා කියලා.ඒත් දැන් නම් භාවනා කෙසේ වෙතත් මර්දන ක්‍රියා නම් කරන්න ඕන කියලා හිතෙනවා....2010 පාස්කුවට මන් මාස 3 විතර නිර්මාංශව හිටියා ,,,,,ඒක කරන්නත් ගෙදර ගොයියගෙන් බෑ.....උයන්න වෙන්නේ මටනේ රස බලන්නම  වෙනවා...ඒත් ආයෙත් නිර්මාංශ වෙන්න හිතේ ලොකු කැමැත්තක් තියෙනවා...උත්සහා කරොත් කරන්න බැරි දෙයක් නෑනේ...... ඉතින් මේ ටිකේ ඇබ්බැහි වෙලා හිටිය අර බුකිය වහලා දාලා පොඩි මර්දන ක්‍රියාවක යෙදෙනවා....හිකිස් එහෙම උනාට.......තොට මොකෝ?ඇයි යකෝ මේ? තොට පිස්සුද බන්? වරෙන් මෙහෙට?මගුල් නටනවද නොකියා ගිහින්?බලමුකෝ කොච්චර කාලෙකටද කියලා?ඒ මොකක්ද අවුල කියහන්කෝ? හනේ අම්මේ ඊයේ ඉදන් ඔය වගේ නානා ප්‍රකාර මැසේජ් මගේ වයිබරයෙයි, එස්.එම්.එස්. වලයි පිරිලා......ඉතින් කෝමෙයි මන් මර්දන ක්‍රියාවක් කරන්නේ මුන්ගෙන් බේරිලා......මට ඔය මැසේජ් දකිද්දි හිනා....ඇයි දන්නවද ජීවිතේට කොමන්ට් එකක් තියා ලයික් එකක්වත් දාන් නැති උනුත් බුකිය බ්ලොක් කරාම කුලප්පු වෙලා...... පාස්කූ කාලේ ජීවිතේ ගලන් ගියේ ඔහොම තමා......

ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ පාස්කු මංගල්ලයක් වේවා!

Tuesday, April 15, 2014

50.හිනා වෙන්නේ හිනා නොවි බැරි කමට



          "හිනා වෙන්නේ හිනා නොවි බැරි කමට" අසංක ප්රියමන්තගේ ඔය සින්දුව,ලග තිබුන රෙකෝඩ් බාර් එකකින් පසුබිම් ගායනය දෙද්දි මගේ ජිවිතයම වෙලා තිබුන ඔයාගේ ආදරේ අන්තීම වතාවට අත ඇරිලා  බස් එකක් එනකම් හෝල්ට් එකට වෙලා ඉද්දි......අඬන්න බලන් හිටපු මගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ උනා.....කටක් ඇරලා පාරේ අඬන්න බැරි කමට.....ලේන්සුව අතින් අරන් කණ්නාඩි කුට්ටම ඇතුලෙන් නලියලා ,නලියලා වැටෙන කඳුළු පිහා ගත්තට.....රුධිර පට්ටිකා නැති එකෙක්ගේ තුවාලෙකින් ලේ ගලාගෙන යනවා වගේ මේ ඇස් දෙකට උනන කඳුළු නතර කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ.....එක දිගට මේ ඇහෙන් කඳුළු වැටෙන්න ගත්තා....මගේ නහය රෝසපාට ජම්බු ගෙඩියක් වෙලා ඇති මන් අඬද්දි එහෙම වෙනවා,ඕන කෙනෙක්ට දැන් මන් අඬලා කියලා කියන්න පුලුවන් තරමට ඇස් රතු වෙලා ඇති කියලා හිත හිත ඉන්නකොට 
 ටිකකින් ආව බස් එකට නැගගෙන ..ලගම තිබුන සීට් එකක වාඩි උනත් එක්කම කොන්දොස්තර ටිකට් එක දෙන්න,යන දිහාව ඇහැව්වා. උගුර පාදගෙන යන දිහාව කිව්වත්...සල්ලි දෙන්න තරම් සිහියක් තිබුනේ නෑ...ටිකකින් කොන්දොස්තර ....රු.7 කියලා බෙරිහන් දුන්නයින්...පන්ති පොත් අතර තිබුන රු.10 නෝට්ටුව දික් කරා මිසක් ඉතුරු ගන්න සිහියක් තිබුනේත් නෑ..හුලන් පාර එන ජනේලේ දිහා බලන් මන් ආයෙත් ලොකු කල්පනාවකට වැටුනා...මන් මගේ හිතත් එක්ක කතා කරා......මෙච්චර ආදරේ කරපු එයා මාව අත ඇරපු කාරණාව මන් මගෙන් ඇහැව්වා..ඒත් එකට උත්තරයක් මන් ලග නෑ..එයාව මතක් කරන හැම සැරේම හිත කඩන් වැටිලා දන්නෙම නැතිව ආයෙත් ඇස් කෙවෙන්න ගන්නවා....කඳුළු වැටෙද්දි මන් ආයෙත් ලේන්සුව ඇස් වලට ලන් කරනවා....ටිකකින් මට ආයෙත් හැම රූපයක්ම බොද වෙලා පෙනෙන්න ගන්නවා ආයෙත් ඇස් දෙකට කඳුලු ඇවිත්......බස් එක පුරාම මිනිස්සු මන් දිහා බැලුවේ හරියට ඇදුම් කෑල්ලක් නැතිව බස් එකේ යන කෙල්ලෙක් විදිහට සමහර මිනිස්සු කුටු කුටු ගාන සද්දේ මට ඇහුනත් එදත් අද වගේම ලෝකේ මිනිස්සුන්ගේ කියුම්,කෙරුම් වලට මගේ හිත සැලුනේ නැති උනාට ඔයා නිසා මගේ හිත කුඩු පට්ටම් වෙලා තිබුනේ හොදටම........

********************************************************************************************
               මොකද පුතේ අද වේලාසනින්,පන්ති නැද්ද?

       ඔය වචන ටික ඇහෙද්දි මම ගෙදර ඇවිත්,ඒත් මගේ මතකයක් නෑ මන් ගෙදරට ගොඩ උනේ කොහොමද කියලා.....පාරේ ආවේ කොහොමද කියලවත් මට අදටත් මතකයක් නෑ.....මන් කලබල උන පාරට කිව්වේ  ඔළුව කැක්කුම නිසා හවස පන්තියට හිටියේ නෑ කියලා......හෙමින් සැරේ කාමරයට රින්ගලා  පොත් ටික මේසේ උඩින් තියලා ....තුවායත් අරන් අම්මා ඔළුව රදේ එක්ක නා ගන්න එපා කියන්න ,කියන්න බාත් රූම් එකට රිංගුවේ නා ගන්නවට වඩා කෑ ගහලා අඬන්න ඕන නිසා......බේසම වතුර ටැප් එක යටින් තියලා ෂවර් එකට ඔලුව ඇල්ලුවේ.....අඬන සද්දේ කාටත් ඇහෙන් නැතුව ඉන්න......මන් ඇඬුවා ...හිතේ දුක හේදිලා යනකම් වරුවක් විතර ඇඬුවා....ඒ කොච්චර ඇඬුවත් බාත් රූම් එකෙන් එලියට එද්දි ....රාජධානියක් වට කරගෙන පහර දෙන  හොරු වගේ,දුක උඩ පැන පැන මේ හිත කොල්ල කෑවා......දවල්ට නොකාම ඔහොම්ම ඇදට වැටුනේ...දරා ගන්න බැරි මහා ඔලුවේ කැක්කුමක් එක්ක....නින්ද නොගියට ඇස් දෙක තද කරන් මන් හිතුවේ ඔයා ගැන,,,,අපි ගැන...අපේ ආදරේ ගැන....ඒ ආදරේට වැදුනු ඇස්වහ කටවහ ගැන.............ඔයා වෙනස් වෙලා.......ගොඩක්.......මේ හිතට දරන්න බැරි තරමට.....පුංචි,පුංචි දේවල් වලටත් මේ හිත අඬන  බව දැන දැන ඔයා ලොකු දුකක් මේ හිතට දීලා .....මාව අයින් කරලා...... ඉස්සර  මන් කාපු යෝගට් හැන්ද පවා සාක්කුවේ දාගෙන ගෙදර ගෙනියපු,මන් කා එක්ක හරි කතා කරනවා දැකලා ...ලෝබ කම් කරපු ඔයා අද මාව මිනිස්සු ගොඩක් එක්ක අඬන්න තනියම දාලා යන්න ගිහින්.....ඉතින් කොහොමද මේ හිත දරා ගන්නේ........... මට ආදරේ කරන්න මහා ලොකු ගොඩක් හිටියේ නෑ...ඔයා දන්නවා....කොච්චර රන්ඬු උනත් පහු වෙනිදා දුවන් ඇවිල්ලා ඔය අතේ එල්ලෙන්න තරම් මේ හිත කඩන් වැටෙනවා කියල...එහෙම මට,අහස පොලොව උහුලන්න බැරි දුකක් දීලා යන්න තරම් ඇයි දෙයියනේ ඔච්චර නපුරු උනේ.......මේ හිතේ ඔයාට තිබ්බ ආදරේ  හිර කරන් ඔයාට නොපෙන්නුව බව ඇත්ත,,,එහෙම වෙන්න හේතු තිබුනා.....ඔයා දන්නවා........මේ වෙන්වීමට හේතුව මගේ ආදරේ අඩුවෙන්  ඔයා දැක්ක නිසා නම් .......මන් පැරදුනේ එතන නම්....... මේ හිතේ තියෙන ආදරේ මට ඔයාට පෙන්නන්න බැරි උනාට දුකයි....මාව අත අරින්න හේතුව ඔයාගේ අම්ම නෙවේ.....මන් ඒක හොදටම දන්නවා..........මේ ඇස් දෙක වහ ගන්න කලින් එකම එක පාරක් කියන්න...මෙහෙම හේතුවක් නැතුව දාලා යන්න උනේ ඇයි කියල........එතකොටවත් මේ හිත හදා ගන්න පුළුවන් වෙයි.

          ඔහොම හිත,හිත ගෙවිච්ච දින,සති එකතු වෙලා මන් මානසික ලෙඩෙක් ගානට ඇදන් වැටිලා.....ගෙදර මිනිස්සු ඉස්සරහ කියන්න දෙයක් නැතුව මුණ හන්ගන් කාමරේට වෙලා කොච්චර හිටියද?දකින දකින උන් මොකද කියලා අහද්දි ඉස්කෝලේ යෑමත් එපාම වෙලා ගියා...........ඔයත් එක්කම අනාගතේ බලන්න හිටපු විභාග ඔක්කොම හෝදගෙන ගිහින් ඉවරටම ඉවර උනා......ඔයා නැතිව මට මොනා තිබුනත් හෙට දවස මට මලගෙයක් වගේ  වෙන බව දැනුනේ නැත්තේ ඇයි?....දෙයියනේ.........ඔයාට මතකද ඔයා නංගිගේ කොටහළු උත්සවයට ගමේ ගිය දවස් ටිකට මට හොදටම උණ ගැනුනා,එහෙම වෙච්ච මට ඔයා තරම් හිත හයියක් නෑ කියලා.....ඔයාට අමතක වෙලා ගියා කියද්දි .....මේ හිත හදා ගන්නේ කොහොමද....?කියල දීලා ගියා නම්....කියලා හිතුනු වාර අනන්තයි.

      ඒත්  කොච්චර හිත හදා ගන්න හිතුවත් මගේ හිත හදා ගන්න බැරි උනා ...කියන්න කෙනෙක්,හිත හදන්න කෙනෙක්....නැතුව ඇඳ උඩක ලෙඩෙක් ගානට මන් වැටිලා......කිසිම හැගීමක් දැනීමක් නැති මළ මිනියක් ගානටත් මේ ජීවිතේ නාස්ති වෙලා තියෙද්දි මට මන් ගැනම දැනුන අප්රසන්න හැගීම,මට මම'ම අනුකම්පා හිතෙන ඒ හැගීම නිසාම ජීවිතේට ආයුබෝවන් කියන්න හිත හදා ගන්න උනා.......ඒත් සැනසීමේ මැරෙන්නවත් දෙන්නේ නැතිව මාව ජිවත් කරන්න හදන ගෙදර අයගේ මහන්සිය ඉස්සරහා මන් පරාද උනා... ,,,,,ඒත් මට ඔයා නැතුව හෙටක් ගැන හිතන්න බැරි බව කටක් ඇරලා කාටත් කියන්න බැරි එකම හේතුව ඔයා මාව අත ඇරලා ගිය එක මිසක්....ඔයාගේ ජාතියවත්,ජම්මේවත් නෙවේ....අපේ කොච්චර නොගැලපීම් ඉස්සරහ උනත් ඔයාගේ ආදරේ තිබුනා නම් දෙපාරක් නොහිත මේ කෙල්ල ඔයා එක්ක පාරට බහින්න හරි හිතන් හිටියේ........ඒත් ඔයා මට කෝල් කරද්දී.......රොබෝ ජිවිතයකට මන් අත වනලා අන්තීම වෙඩින් කාඩ් එකත් බෙදලා ඉවරයි....ඒත් ඔයා මගේ ඇස් ඉස්සරහට එදා ආවා නම් සත්තයි ඒ ඔක්කොටම පයින් ගහලා මන් ඔයා එක්ක එනවා,එත් ඔයා නිකම්ම නිකම් දුක් උනා විතරයි.......ඔයා මලක් වගේ ආදරේ කරපු මේ කෙල්ල වෙන එකෙක්ගේ පුජාසනයක පිදෙන්න නියම වෙලා... ගොඩක් දෙනෙක්ගේ සිත සුව පිණිස.....නැගතකින්  උදා වෙලා වැටුන  කසාදේ කියන විලන්ගුවත් එක්ක.........වෙන කෙනෙක්ගේ වෙලා මැරි මැරි ඉපදෙනවා...ඔය හිතට වෛර බඳිනවාට වඩා මේ හිත පාරන් මැරෙනකම් දුක් විදින එකත් සැපක්.........කියලා හිතලා ලොකු දුරක් ඇවිත් මන්.........
               කොච්චර රිදෙන හිතක් එක්ක උනත් කාලයත් එක්ක මන් ලෝකයට පේන්න හිනා වෙනවා.....වෙන කරන්න දෙයක් නෑ........චුටි ආදරයක් ඉස්සරහ උනත් මහා ලොකුවට හිතින් කඩන් වැටෙන තරමට මන් හිතින් දුර්වල,අසරණ වෙලා රත්තරනේ දැන්.......මට මන් ගැනම දුකයි.... ඒත් ඒ වෙලාවට ලොකූ හුස්මක් අරන් හිත හදා ගන්න බලනවා.......මට මගේ ලෝකේ ඔයත් එක්ක හදන්න බැරි උනත් ගොඩක් දෙනෙක්ගේ ලෝක  හදන්න මන් හේතුවක් වෙලා මේ හිත,ඇල්පෙනෙති තුඩක් තරම් සතුටක් විදිනවා.......
************************************************************************************
        ඔයා මට දුන්න නම ශානු........තාම පරිස්සමින් පාවිච්චි  කරනවා මන්....ගෙදර අය ඇරෙන්න ගොඩක් දෙනෙක් මට ඒ නමින් කතා කරනවා....මාව අදුනනවා.... සතුටුයි මට........ හැමදේම මතකයක් විතරයි.....ඒ මතකයේ මන් ජීවත් වෙනවා.....දෙවියන් ගැන මන් විශ්වාසය අත ඇරියේ ඔයා මගෙන් වෙන්වුන මොහොතෙමයි..බය වෙන්න එපා....මේ මුණවත් බලන්න අකමැති කිව්ව ඔයා ඉස්සරහට අද වෙනකම්  නාව මේ කෙල්ලගේ හුළගවත්  ඔයාගේ ලස්සන ලෝකෙට වදින්න ඉඩක් තියන්නේ නෑ......ඔයාගේ අලුත් ජිවිතේ එක්ක පරිස්සමින් ඉන්න........ බුදුසරනයි!

 දවසක ඔයා මේ හැමදේම කියවයි.....
ඒත් එතකොට වැඩක් නැති වෙයි...........
සමහර විට මාත් නැති වෙයි......
දුක නොහිත ඉන්න එදාට......
ආත්මයක්,ආත්මයක් ගානේ ......
මේ ආදරේ ඔයාගෙම නොවුනත්....
පේන දුරකින් හරි ඉඳි....

_______________ශානු_______________

ප.ලි.....
(අද 50 වෙනි ලිපිය ලිව්වා...අවංකව සතුටුයි.....එකේ පන්තියේ ලියන ලිපි වලින් පටන් අරන් ටිකක් ලියන විදිහ මන් වෙනස් කරලා කියලා .....දැන් ලිපි,පළමු ලිපි කියවද්දි මටම හිතෙනවා.......බ්ලොග ලියන්න පටන් ගත්තේ සිදු අක්කගේ ලෝකයේ කොනක අහම්බෙන් බුකියේ තිබිලා කියවලා....ඉතින් එයාට ස්තූති කියන්න ඕනා...මට පලවෙනි කොමන්ටුව දැම්ම නිෂ් නංගා ඔයා අද බ්ලොග් නොලියුවත් ඔයාවත් ආදරෙන් මතක් කරනවා....... ඒ විතරක් නෙවේ මුණක්වත් නොදැක කොමන්ට් වලින් කතා කරපු හැමෝටම ස්තූතී...... ඒ අතරින් පතර දැන අදුන ගත්ත  වලි කාපර්ලා බස්සි,කළු සහ සුදු, ඉවාන් පවුලුෂා  ඔය තුන්දෙනාගේ ලෙන්ගතු කම හැමදාම මා එක්ක තියෙයි කියලා හිතෙනවා........ මගේ මල්ලී දිනේෂ්(ඉදිකට්ටා),මට මල්ලි කෙනෙක් නැති උනාට චුට්ට වෙද්දි මන් ගැන හොයලා බලපු උඹේ සහෝදර කම මට ගොඩක් වටිනවා.....


විශේෂ ස්තූතිය  එයාට,මෙච්චර දුර ලියන්න පුළුවන් උනේ එයා නිසා....කිසිම බාදාවක් නැතුව අද වෙනකම් මගේ ලට්ට පට්ට තොග පිටින් නිදහසේ සිත් පරිදි ලිව්වට නෝක්කඩු උනේ නැති එයාට ..........මම එයා නිසා වාසනාවන්තයි කියනවා ඇරෙන්න කියන්න දෙයක් නෑ....

පාටි නම් නෑ...
සුදු ඇදන් හෙට හවසට එන්න 
මල් ටිකක් අරන් 
පන්සල් යන්...
පල්ලි යන්...
කෝවිල් යන්.......
එහෙනම්.....සුබ දවසක් මන් ගියා....

ප.ලි.ප. :D මේ කතාව මගේ කතාවක්ද කියලා අහන්න එපා...ඔයාට කියවද්දි හිතුනේ මගේ කතාවක් කියලා නම් ඔයා හරි.....ඔයාට හිතුනේ මේක නිර්මාණය කරපු කතාවක් කියලා නම් ඒත් ඔයා හරි.......මේක වෙන කෙනෙකුගේ කතාවක් කියලා හිතුනා නම් ඒත් ඔයා හරි.......කොහොම උනත් මේ හැම දෙයක්ම මේ ඇස් දෙකෙන් දැකපු කතාවක එකතුවක්........

Saturday, April 12, 2014

49.අම්මා මගේ අත් දෙක පිච්චුනා මේ



           ජිවිතේ කියන්නේ පුදුම දෙයක් සමහරු කියන,කරන ,ලියන දේවල් වලින් අපි ගොඩාක් ඈත අතීතෙට අපේ හිත ගෙනියලා  මතක සුවඳ එක්ක ටිකකට හිත සතුටු කර ගන්නවා ඒත් අන්තිමෙට අපි දුක් වෙනවා ඉස්සර එහෙමයි දැන් මෙහෙමයි කියල ඒත් අපි යන ගමන දුක,සතුට දෙකම කර පින්නාගෙන යන්න ඕනා කියලා මටත් හිතුනේ අද...ඒ මොකුත් නිසා නෙවේ ඉස්සර අවුරුද්දට කැවුමක්,කොකිසක් කෙසේ වෙතත්  අඩුම ගානේ අවුරුදු උත්සවයකට හරි යනවා...මෙහේ අවුරුදු උත්සව තිබුනට මගේ වැඩි කැමැත්තක් නෑ යන්න....අනේ මන්දා ....ආස නෑ මන් අදුනන කවුරුත් නෑනේ......කොහොම හරි දැන් අතීතේ සිහිනයක් පමණයි කියලා හිතලා....පොඩි කතා ටිකක් මතක් උනා ලියන්න....... මට නම් අවුරුදු නෑ කියන්නත් බෑ තියෙනවා කියන්නත් බෑ ලංකාවේ හිටියා නම් තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර අවුරුදු සමරන්න යනවා....ගෙදර ඉදන් කරන්න කිසි දෙයක් නෑ....අපිට නත්තල් සැමරිල්ලක් විතරක් තියෙන නිසා........ම්.......මන් ටිකක් මතක් කරා අවුරුද්දට ඉස්සර මොකෝ මන් කරේ කියලා.......
මේන් මතක් උන ටික
--------------------------

            මන් ඉස්සර ඉදන් අනිත් අයට වඩා වෙනස් එහෙම කියන්නේ මම නෙවේ අපේ අම්මා......මට ඉස්සර පණු ගාය වගේ වත්ත වටේ දුවනවලු....ඔය ඇවිදින කාලේ අම්මා මාව මේස කකුලේ බැඳලා තිබ්බලු...ඇයි අම්මට වැඩක් කර ගන්න බෑලු මේ ඉන්නවලු ටිකකින් නෑලු...ඇවිදගෙන හතර වටේ යනවලු මම...හි...හි...හි...මේ දේ වෙද්දි ,,,,,එතකොට මට අවුරුදු 5 ක් විතර ඇතිලු...ඔය පාස්කුවයි,අවුරුදුයි එකටනේ එන්නේ හැබැයි පාස්කු සිකුරාදා දවස අවුරුද්දට කලින් වැටුනොත් ලේ හෙලවීම් වැඩිලු මන්දා අපේ පප්පා (අම්මගේ තාත්තා)ඉස්සර කියනවා මට ඇහිලා තියෙනවා..... ඉතින් මේ සිද්ධිය වෙච්ච අවුරුද්දෙත් පාස්කු සිකුරාදා වැටිලා තියෙන්නේ අවුරුද්දට කලින්......ඔය පාස්කු කාලෙට බැදුම්,ඒ විතරක් නෙවේ මස්,මාළු කන්නේ නෑ.....(මගේ නම් එහෙම විශ්වාසයක් නෑ) 
               ඉතින් ඔය අවුරුදු දවස් වල  අපේ අම්මගේ අක්කා කෙනෙක්ගේ මගුල් ගෙදරට ,අපේ ගෙදර තමා කැවුම් උයන්න  කට්ටිය ලෑස්ති කරගෙන ඉදලා තියෙන්නේ,ඔන්න  කැවුම් තාච්චිය ලිපේ තියලා...කට්ටිය කැවුම් උයනවා ලාවට මතකයක් තිබුනට එච්චර නිච්චියක් නෑ....මන් එදා ඒ ලගම සෙල්ලම් කර කර ඉදලා බොලෙකින්....ඉතින් අම්මගේ අම්මා ඒ කියන්නේ ලොකු අම්මා කැවුම් උයන තැනට ඇවිත් මන් ඔඩොක්කුවේ ඉදගෙන ඉදලා එහෙට මෙහෙට ආයේ නැගිටලා දුව,දුව ඉදලා...ටික වෙලාවකින් එක පාරටම මන් එයාගේ. ඔඩොක්කුවේ ඉදගන්න ආවම වාරු නැතිව එයා කැවුම් උය,උය හිටිය තෙල් කොදිච්චි වෙන තාච්චියට මන් අත්දෙක ගහලා....චූටි අත් දෙකම නොසෑහෙන්න පිච්චිලා...මගේ අම්මා අඬ ...අඬ තාත්තා එක්ක ඉස්පිරිතාලේ ගෙනියලා තිබ්බා......අම්මා හිතලා කවදාවත් මගේ අතින් කිසි වැඩක් කරන්න බැරිව, විරූපි වෙච්ච අත් දෙකක් මට තියේවි කියලා ඒත් ඉක්මනින් කරපු ප්‍රතිකාරත් අම්මගේ ආදරෙත් නිසා දෙයියනේ කියලා මගේ අත් දෙක සනීප වෙලා.....අදටත් මගේ ඇගිලි නමන තැන් කළුයි..ඒ විතරක් නෙවේ තාච්චියේ කොනක් වැදිලා පිච්චුන පාරක් තාමත් අතේ කොනක තියෙනවා.
                    අම්මා අදටත් ලංකාවට ගියාම බැදුම් කරන තෙල් තාච්චි පැත්ත පලාතකට එන්න දෙන්නේ නෑ.....ඒත් ඉතින් ගිය පාර මන් කැවුම් වගයක් හදන්න උදව් උනා ...මගේ ,මුද්දේ අයිතිකාරයගේ ,අක්කගේ,මස්සිනාගේ ප්‍රියතම කෑමක් නිසා...ඒත් අම්මා නෙවේ ලිප ගාව මාව තනියම දාලා අහක් උනේ.......අම්මා හැම අවුරුද්දෙම මතක් කරනවා මම ඒ පිච්චුන අත් දෙක පෙන්නලා කියනවලු වචන පැටලි පැටලි"අම්මා මගේ අත් දෙක පිච්චුනා මේ"කියලා.....අම්මා ඒක බල බල අඬනවලු....හම්මේ ඔයින් ගියා මදෑ.......
    ඒ විතරක් නෙවේ ඔන්න තව අවුරුදු තිබ්බ අවුරුද්දක මන් තාත්තගේ යාළුවෙක්ගේ ගෙදර ගිහින් ලස්සනට පාට පට ලයිට් වැලක ලයිට් එකක් අල්ලන් ගල් ගැහිලා ඉදලා තාත්තා මාව තල්ලු කරලා බේරගෙන ඒ ගැන මට හරියට මතකයක් නෑ......ම් ඔහොමත් දේවල් මන් කරලා.......මට තිබුනු දාන්ගලේ හැටි තමා ඔය.........

         තේරුම් තියෙන කාලෙදි  උ/පෙ ලියද්දි මන් නම් අවුරුද්දට  දුන්න නිවාඩුවට වැඩි කැමැත්තක් තිබුනේ නෑ.....ඇයි දෙයියනේ එයා ගමේ ගියාම දකින්නේ කොහොමද?කතා කරන්නේ කොහොමද ප්‍රශ්ණ ගොඩයි......මෙදා පාර එයා ගමේ යනවා ඇති මට මතක් උනා...ඒත් මාව ගමේ එක්ක  යන පොරොන්දුව තාම එයාට ඉෂ්ඨ සිද්ධ කරන්න බැරි උනා.......ආයේ කවදාවත් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න එයාට බැරි වෙයි............අන්න ඔය වගේ ප්‍රශ්නත් තිවුනා..........ඒ විතරක් නෙවේ ඉස්කොලේ යන කාලේ අවුරුදු තිබ්බ අයට කාඩ් අරින්න ඕන නිසා උදය පොත් හලේ කූඩ ඇතුලේ බැහැන් කාඩ් තෝරපු කාලෙකුත් තිබුනා....ඒවා ගොඩක් සොදුරු මතක................

     මෙදා පාර අම්මයි,තාත්තයි, නැන්දම්මයි,මස්සිනයි. ආණමඩු ගිහින් නිකවැරටි යනවා අවුරුද්දට......යන්නේ සදුදට අද බරටම කෑම හදනවා ඇති අම්මා,තෑගි ඔතනවා ඇති......මටත් යන්න තිබුනා නම් කියලා හිතුනා.......දැන් ඉතින් ගේන ෆොටෝ කෑල්ලක් බලන් හිත හදා ගන්නවා......අනේ කැවුමක්,කොකිසක්,මගේ ආසම ආස්මියක් කන්න වාසනාවක් කවදා ලැබේද? දැනුයි මතක් උනේ අම්මා පැණි බෝතලයක් දුන්නා ...දෙසැම්බර් ලංකාවෙන් එද්දි .......පැණි ,හකුරු වෙලාද මන්දා තාම බෝතලේ කටට සෙලෝටේප් ගහපු ගමන් අම්මගෙන් අහන් කැවුමක්...දෙකක් කොන්ඩේ නැතුව හරි හදන්න ඕනා........මෙහේ ලංකාවේ කඩ වල ඔය අතිරහ පිරිලා තියෙයි ඒත් ඒ කඩවල් වල හදන කෑම නොකා ඉන්න මෑතකදි ගත්ත තීරණයක් නිසා හදා ගත්ත දෙයක් ඇරෙන්න ලංකාවේ කෑම කන්න වෙන්නේ නෑ........ඕවා තමා  ඉතින් ශානුවාගේ අවුරුදු විස්තර......


ඉතින් පතනවා ඔයාලා හැමෝටම
 සුබ අලුත් අවුරුද්දක් වේවා!


Friday, April 4, 2014

48.ආගන්තුක කෝපි කෝප්පයක කදුළු කතාව


                   
                 හීනෙකින්වත් හිතපු නැති වෙලාවක මේ ඇගිල්ලට මුද්දක් වැටුනා.....දෛවය කියන්නේ මේක නම්....මට ලැබෙන්න තියෙන ජීවිතෙත් මේක නම් ....අනිත් අයගේ සතුට වෙනුවෙන් මගේ සතුට උකස් කරන්න දෙපාරක් හිතපු නැති කෙල්ලෙක් මම.....ඒක එහෙම උනාට මේ හිතත්  තවත් එක ගෑණියෙක්ගේ බව මතක් කරන්න අම්මලා,අක්කලා, නැන්දලාට පුළුවන් උනා නම් අද මේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබුනා.....අවාසනාවකට හරි වාසනාවකට හරි මන් ඒ මනුස්සයා එක්ක දීග ගියා.......ඒක  මේ ජීවිතේ වෙන්න තිබුනු දෙයක්.......ගැලපීම්,නොගැලපීම් එමට තියෙද්දි එක කොනක ඉදන් හැමදේම එකින් එක ගලපන්න උත්සහ කරපු ගෑණු හිතක් මේක .......මහා මුහුද තරම් කදුළු ඇහි පිය යට හංගගෙන ලෝකේටම හිනාව පෙන්නගෙන ලොකු ගමනක් යන්න  පියවරෙන් පියවර ඉස්සරහට ගිය කාලයක් තිබුනා.........සමහරක් නොගැලපීම් ඉස්සරහා මන් මහා වැරදිකාරියක් ගානට දෙස්දෙවුල් අහද්දි කට පියාන පැත්තකට උනේ නිවට කමට නෙවේ මේ මුද්ද රැක ගන්න තිබ්බ උවමනාවට,ගෙදර අයට ලැජ්ජා කරන්න බැරි කමට...........හැබැයි මේ ජීවිතේටත් ඉවසන්න පුළුවන් කම තියෙන ප්‍රමාණයක් තියෙනවා........අන්න ඒ ඉවසුම් කණුව ලගදි පරික්ෂාවට ලක්වෙච්ච එකම ගෑණි මමද කියලා මට හිතුන වාර අනන්තයි...................
    ඒක මහා මුසල කාලයක්ද?,කිලිටි කුණාටුවක් තිබ්බ කාලයක්ද?එහෙමත් නැත්නම් ජීවිතේ හිතින් ටික කලක් හරි සතුටින් හිටපු කාලයක්ද කියලා කියන්න මට තේරුමක් නෑ......................
          ජීවිතේ මොකක් හරි හේතුවකට මන් ඇගිල්ලට වැටුන මුද්ද පාවිච්චි කරේ විශේෂ ගමනකදි විතරයි ......ඔය මුද්ද ඇගිල්ලේ එල්ලන් ඉන්නේ නැති කම නිසා බාහිර ලෝකයෙන් ආපු ගොඩක් ආදරණීය ඇරයුම් වලට   දෙපාරක් නොහිත පයින් ගහන්න තරම් හයිය හිතක් මට ඒ දවස් වල තිබුනා........මගේ ජීවිතේ මොන දේවල් තිබුනත් මගේ අත ගත්ත මනුස්සයට අවංකව,විශ්වාසයෙන් ජීවත් වෙන එකෙන් මන් ලොකු ආඩම්බරයක් අත් වින්දා......ඒත් එක දවසක් මේ ඇස් දෙකට ගැටුන ඒ ඇස් දෙක මගේ හිත සෑහෙන්න දුරකට ඇදන් ගියා..........හරියට මැජික් සංදර්ශණයක ඇස් බැන්දුමක් කරා වගේ.............
                  *******************************************************************************************
                   අපි වරු ගණන් කතා කරා...මොන දේ කතා කරත් අන්තිමෙට මේ කටින් පිට උනේ 
"අපිට කවදාවත් එක වහලක් යටට එන්න බෑ...ඒක හීනයක්........මට බොරු කරන්න බෑ...ඒත් මන් ඔය හිතට පණ වගේ ආදරෙයි තේරුම් ගන්න බලන්න......"
  
                ඉතින් අවසන් මොහොතේ ඇගිලි තුඩකවත් නොගැටි ඒ හිතින් ලබපු ආදරය එක්ක මන් ගෙදරට ගොඩ වෙන්නේ මන් මහා  ලොකු වරදක් කරපු ගෑණියෙක් විදිහට .....ඒ හිත ලග ඉද්දි තිබුන සතුට,සැහැල්ලුව,සැනසීම ,ඔළුවේ තිබ්බ නිදහස.........කට්ටඩියෙකුගේ නුලක් පැන්නා වගේ ගේ උළු වැස්ස පැන්නම අතුරු දහන් වෙලා යනවා..........ඉවුම්පිහුම් කරත් උයා ගත්ත දේ කටට දා ගන්න බෑ......හිත මහා පවුකාර කමක් කරපු ගානට මන් මටම දඩුවම් කර ගන්නවා..........රෑ එළි වෙනකම් කල්පනා කරලා එළි වෙන ජාමේ සාලේ තිබ්බ සැප පහසු පුටුවක  ඇස් පියා ගත්තත් නින්දෙදීවත් මට සැනසීමක් නෑ........මේ විදිහට සති ගානක් විඩා බර ඇස් එක්ක මන් රස්සවට යනවා............
            දවසක් මන් හිතලම බස් එකට ගොඩ උනේ ඒ ආගන්තුක ඇස් දිහා නොබලම මග අරින්න.....ඔව්...මේ නපුරු හිත ඒකත් කලා.....ඒත් ඒදා දවසම.......පිච්චි ,පිච්චි මේ හිත හිතින් අඩන ගමන් කාලය ගත කරා..........ඊට පහුවෙනිදා මන් එනකම් කෝච්චිය ලග හිටපු ඔයාව දැකලා මට මොනාද කියන්න ඕනේ කියලා නිනව්වක් තිබුනේ නෑ.....ඔයා මන් ඉස්සරහ ඇවිත් කිව්වේ
        "මැණික ඇයි මෙහෙම කරන්නේ....දන්නවද මට හිතෙනවා ඔයාව බදාගෙන අඩන්න ඒත් මන් එහෙම ඔයාට ලැජ්ජාවක් කරන්න කැමති නෑ "කියලා....
             හිමීට මේ ඇස් දෙකෙන් ඒ ඇස් දෙක දිහා බලද්දි හීනියට නලීයන කදුළු කැට.......මට මග අරින්න ඕන උනා ඒත් එහෙම නොකර ඉන්න මගේ හිත මටත් වඩා ලෝභ උනා ඒහිතට..........
**************************************************************************************************+**
                 හරියටම මාස 5ක් විතර වද දුන්න මේ ආගන්තුක ආදරය අයින් කරන්න මන් තීරණේ කරා.....ජීවිතේ දෙන්නෙක් ඉස්සරහා වෙනස් වෙවි කතා බහ කරන්න......මට හිත දෙන්නේ නෑ.... කොහොමත් ජීවිතේදී කොච්චර අමාරු උනත් හරි මග තෝරගන්න උත්සහ කරපු ගෑණියෙක් විදිහට එකටම කරේ ෆෝන් එකේ සිම් එක කෑලි වලට කඩලා විසික් කරපු එක....අන්තීම වතාවට කෝපි කෝප්පයක රස බලන්න කාලයකට ඉහතදි ලැබුනු ඇරයුම බාර ගැනීම........ඒ වෙච්ච සිද්දිය තමා මේ විදිහට බුකියේ ලියවුනේ.............

((((((((((((((පුරුද්දකට වගේ යන එන අතරතුර ඔය හිනහවට හිත වැටුනේ සමහර විට මේ හිත ඕනවටත් වැඩියේ මිනිස්සුන්ගේ මනුස්ස කමට ආදරේ කරපු නිසා වෙන්න ඕනා.....ඔය හිතින් සංයමයකින් කල ආරාධනාව ඉවත දාන්න බැරි උන මම...ආගන්තුක හිතත් එක්ක කෝපි කොප්පයක රස විදින්න මගතොටේදි හමු වු එලිමහන් අවන්හලේ අසුන් ගත්තේ හරියට හුරු පුරුදු දෙදෙනෙක් වගේ......මට අද වගේ මතකයි,ආරාධනය ආගන්තුක හිතින් උනත් පළමු කෝපි කොප්ප දෙකේ බර පැන මන් දුන්නා........අපි කතා කලා ඔව් මට වඩා ඔය හිත නොකියා කිව්ව ආදරේට මේ හිත ලෝබ උනා ඒත් ඔය ආදරේ ප්‍රතික්ෂේප කරන්න එකම එක හේතුවක් ඇරෙන්න වෙන කිසි හේතුවක් තිබුනේ නෑ ආගන්තුකයා ඒ ගැන දන්නවා......කෝපි කෝප්පය ඉවර උනා......මිනිත්තු කිහිපයකින් තවත් කෝපි කෝප්ප දෙකක් මේසය උඩ .....නැවතත් ආගන්තුකයාගේ සුපුරුදු අදෝනාව....එය අදෝනාවක් වුයේ එකම දේ නැවත නැවතත් ඔහු මතක් කිරීම නිසාය.....

එදා දිනය අවසන් විය.........

මගේ යටි හිත ඔහුට කාලයත් සමග අපිරිමිතව ආදරය කල නමුත්....ඒ සියල්ල අමතක කර දැමීමට තිබ්බ එකම හේතුව මගේ හදවත මට නැවත නැවතත් මට හිමි වගකීම්,යුතුකම් මතක් කර දෙන්නට වු නිසාය ......... මන් දන්නවා ඒ ආදරේට මගෙන් ගන්න ආදරේ හැරෙන්න වෙන දෙයක් තිබුනේ නෑ...ඒ ආගන්තුක හිතේ තිබ්බේ ආදරේ විතරයි.........සත්තයි ප්‍රාර්ථනා විරහිතව වැටුන මේ මගුල් මුද්ද මේ අතේ නොතිබුනා නම් ඔය හිතට මේ හිත දෙන්න දෙපාරක් හිතන්නේ නෑ....ඒත් මේ මුද්දට බැදුනු වගකීම්,යුතුකම්,විශ්වාසය ඒ විදිහටම ලබා දෙන්න සිද්ධ වෙන නිසා මට සිද්ධ වෙනවා සීමාවෙන් පිට නොපැන ඉන්න....ආගන්තුක හිත ඒ බව දන්නවා.....මේ හැමදේම ඉවර වෙලා කල්ප කාලයක් ගියත් අවුරුදු දෙකකට පස්සෙත් ඔය හිත තාමත් ඒ විදිහමයි කියලා දැන ගන්න ලැබුනම
.......සත්තයි.....මට කර කියා ගන්න දෙයක් නැති උනා..........මේ අපේ ලබා උපන් හැටි කියලා හිත හදා ගමු රත්තරන්...ඒත් පුළුවන් තරම් දුරක් හිත කිලිටි නොකරගෙන අපි යමු...එච්චරයි.........))))))))))))))))))
            
                 අද වෙනකොට කාලය ගොඩක් දුර මේ ජීවිතය ඇදන් ඇවිත්,ආපසු හැරිලා යන්න බැරි තරමට බැදීම්,හැගීම් දැනීම් වැඩි වෙලා.....මන් සතුටින් හැබැයි මොන දේ උනත් ඔය හිතට තිබ්බ ආදරේ,ගෞරවය හැමදාම මේ හිතේ ගැඹුරුම තැනක නිධන් ගතයි........... දැන් ඉතින් ඔය ජීවිතෙත් හදා ගන්නවා නම් මම කැමතී ඒත් බල කරන්න තරම් ඔයාගේ ජීවිතේ අයිතීකාරකමක් ගන්න ,වගකීමක් ගන්න මන් දැන් පරක්කු වැඩි...........දැන් මම අම්මා කෙනෙක් වගකීම ගොඩක් එක්ක සම්ප්‍රදායික ගෑණියෙක්ගේ ජීවිතේ මන් විදිනවා...මොන දේ කොහොම උනත් මගේ දරුවොත් එක්ක මන් සතුටින් කිසිම කහටක් මේ හිත් කොනක උපදින්න මන් ආයෙත් දෙන්නෙත් නෑ.........අවුරුදු ගානකට පස්සෙත් ආදරේ ඉල්ලලා ඔයාගෙන් ඊයේ ආව ලියුමට උත්තර ලියන්න මේ හිත විවර කරන්න මට බෑ..........සමාවෙන්න!මේ හිතින් ඔය කකුල් දෙක ලග වැටිලා වදිනවා හැමදාම මේ ඇගිලි තුඩකවත් නොවැදී ආදරය දුන්නට ඒ වගේම මන් හැමදාම ඔය පිදුම් ලද යුතු හිතට කිලිටි සිතුවිල්ලකින් තොරව පින් දෙනවා! .............


මේ තවත් එක් ගැහැණු හිතක්.............
____________ශානු______________




Wednesday, March 19, 2014

47.අසම්මතේ සිතුවිලි කැඩපත


පැබ්ලෝ පිකාසෝ මම ගොඩක් ආදරේ කරන චිත්‍ර ශිල්පියෙක් .... Girl Before a Mirror  චිත්‍රය දිහා බලන් හිටිය මට මෙහෙම ලියවුනා අනේ මන්දා චිත්‍රය  මට තේරුම් ගියේ මේ ටික......චිත්‍ර  වලට අරුත් දෙන්න පුළුවන් ඒ ඒ කෙනා දකින විදිහට කැමති නම් චිත්‍රය ගැන මෙතනින් ගිහින් දැන ගන්න

තොල් මත වචන තෙරපා ඇදුණාද
ලය මත සිසිල විතරක් රැදුණාද
සිනහව නැතුව හිත නුඹේ බිදුණාද
රහසින් තනිව ඉන්නට දැන් හිතුණාද

        රාත්‍රිය දිග දැයි මම, නුඹගෙන් ඇසුවාම
        ඇස් කොනකින් නුඹ,මා දෙස බැලුවාම
        සද එලියට හිත මගේ බැදුනාම
        ඔය උණුසුම ලග හිත රැදුණාම

දෙකොපුල් රතු කරගෙන නුඹ හිටියාට
හෙමිහිට  රතදර පහසම මම වින්දාට
ලෝකයාට හොරැහින් ජීවිතයම දුන්නාට
කදුලක් වැටුනා රහසින් හිත රිදුනාට

         ජීවිතයම හිස් බව මට දැනුනාම
         ඔය හිත ලග ජීවිතයම මම හෙව්වාම
         හිත නුඹ ලග නැවති ඇති බව මට දැනුනාම
         දැන්නම් හැර යන්නට ආපසු බැරුවාම 

ලෝබයි යන්න අත හැරදා හැමදාට
යන්නට වෙනවා නුඹ  හැරදා හැමදාට
එහෙමයි හිතුවේ මේ හිත,මේ අද රෑට
නැවතත් එනවා මම නුඹේ ගෙට හෙට රෑට

    __________ශානු____________