Sunday, November 1, 2015

74.ගඩොලක කතාව 04 -(අප්පච්චිගේ මතකය)


ගඩොලක කතාව 03 <= මෙතනින් කියවන්න
         හීනියට හිත රිදෙන දවසක නිමාවත් සමඟ  මට සිහි වෙන දේ ලියා තැබිය යුතුමය.
       මම හුස්මක් පිට කලේ හිතේ තිබුන වේදනාව එළියට විසික් කරලා අතීතෙට යන්න ...
     සෙනෙහස,හීන එකට ගොනු කර මැටි සමග උදේ සිට හවස් වන තුරු අනන අපේ අප්පච්චි....
      මට මතකයි ඒ දවස් වල අප්පච්චි  උදේ තේ කහට එක බීලා විටක් හපන් ගේ දොරකොඩට ටිකක් එහායින් මැටි එක්ක යුද්දේ පටන් ගන්නවා...හරි හරියට  කකුලෙන් මැටි පාගනකොට ඇහෙන "චිරි...චිරි'' සද්දේ අදටත් මගේ කන් වලට ඇහෙනවා....ඇහෙනවා වගේ...එකම කමිසෙයි,කලිසමයි තිබ්බ මට .... ඒ ඇදුම්  තිබ්බ කහට තිත් ගාන කොච්චරද කියලා කියන්න බැරි තරම්.... නිරුවත් වෙච්ච කකුල් වල ගඩොල් මැටි වැහි දවසට පෑගෙනකොට කිරි පැණි වගේ ඇගිලි කරු අතරින් බේරෙනකොට රබර් සෙරප්පු දෙකක් තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි... ඒ වෙනුවෙන් අම්මට වද කරපු වාරත් අනන්තයි...වේල් තුනටම එක වේලකින් පිරිමහද්දි රබර් සෙරප්පු කූට්ටම හීනයක්ම වෙලා ගියා....
            අප්පච්චි උදේට ඉදලා හිටලා දෙන සත 5 පරිස්සම් කර ගත්තේ මැණිකක් වගේ... ගොඩක් වෙලාවට ඒ සත 5 ගියේ  කැටේට...අනිත් ළමයිට වගේ බුල්ටෝ එකක් වත් කන්න මට ආසාවක් නොතිබුනේ ගෙදර තිබ්බ අඟ හිඟකම් ඕනටත් වඩා මගේ මනස ආක්‍රමණය කරලා තිබුන නිසා වෙන්න ඇති....
               අප්පච්චි යෝධයෙක්..... දසමහ යෝධයෙක් කියලා මට දැනෙන්නේ තනියම මැටි එක්ක ඔට්ටු වෙලා කපා ගත්ත ගඩොල් එකින් එක පෝරනේ අඩුක් කරලා පොල් කොටන් අවුලුවලා ඒ දිහා  පැත්තකට වෙලා ඇන තියන් බලන් ඉද්දීයී. මැටි ගල් රතට රතේ දිලිහිලා අලුත් සුවඳක් හමනකොට අප්පච්චිට විතරක් නෙවේ ගෙදර හැමෝටම අලුතෙන් උපන් හැඟිමක් හිත මෝදු වෙනවා...ඒත් කලාතුරකින් ගඩොල් පෝරනුවම නිසි මුදලකට විකුණන්න ලැබුනත් බොහෝ වෙලාවට උනේ දෙක පහට අප්පච්චිගේ මහන්සිය උකස් උන එක විතරයි මට තේරෙන වයසේ ඉදන් ඔය රටාවට මුහුණ දෙමින් ගෙවිච්ච දවස් මහා ගොඩයි.... සල්ලී අතේ ගැවසෙනකම් අම්මා හැමදාම අරපරිස්සමට අපිට වේලක් ඇර වේලක් කන්න දුන්නත් අප්පච්චිගේ හිතේ හයිය එක්ක ආයෙමත් මැටි එක්ක ඔට්ටු වෙන්න පටන් ගන්නේ අලුත් ගඩොල් පෝරනුවක් පුච්චන්න....
             සමහර දවස් තිබුනා ගඩොල් දාහකට ,දෙදහකට ආසන්න ගානක් මොර සූරන වැස්සට අහු වෙලා පොළොවටම දිය වෙච්ච....එදාට අප්පච්චි දවසම හුල්ලන හැටි මම බලන් ඉදලා තියෙනවා..ඔහොම අප්පච්චි හුල්ලපු දවස් විතරක් නෙවේ මාස ගනනුත් තිබ්බා ඒ විතරක් නෙවේ අප්පච්චි දවසක් අපිව තුරුල් කරන් අඬපු හැටි අදටත් මට මතක් කරල දෙන්නේ පෝරන් වල පොල්කොට වේදනාවෙන් පිච්චෙන සද්දේ.....
           අප්පච්චිට හැමදාම උවමනා උනේ අපේ කුසගින්න නිවන්න ,අකුරක් දෙකක් කියව ගන්න ඉස්කෝලේ ගියාම ඇති කියලා හිතපු අප්පච්චි අපිට කියලා දුන්නේ දෑතේ රස්සාව.... අම්මත් එක්ක එකතු වෙලා ජීවිතේ ජය ගන්න උත්සහ කරපු අප්ප්ච්චි අපිට කියලා දුන්නේ දුප්පත්ව ඉපදුනාට දුප්පත්ව මිය යා යුතු නැති බව....
           අප්පච්චිගේ දෑතේ හයියෙන් මම පෝෂණය උනාට වඩා මගේ දරුවෝ ඉහල යා යුතු යන්න අප්පච්චි නිතර දෙවේලේ කියු කතාවක් මගේ ජිවිතේ මහා දුරක් වෙනස් කර ඇත....
          ඇසට උනන කඳුළු කුළුදුල් නැත අප්පච්චි ගඩොල් පෝරනේ පුච්චන තැන මගේ අතින් සෑදු ගඩොල් පුළුස්සන සෑම විටකම මේ කඳුළු සුපුරුදුය....මගේ අප්පච්චිගේ හයියෙන් ඉගෙන ගත්ත අකුරු සාස්තරේ අල්ප උනත් මා එයින් උපයා ගත්තේ ජීවිතයේ වැදගත්ම සංදිස්ථාන කිහිපයකී...
                ගඩොල් පුංචි බණ්ඩගේ පුතා අද ගඩොල් මුදලාලි කෙනෙක් වුවත්....
                  දරුවන් ඉහලට ඉගෙන ගත්තත්....
    තවමත් අප්පචිචි නැමති දස මහා යෝධයාගේ මතකය පහුරු ගා අතීත සුවඳ විදිනවාට වඩා සතුටක් මට නැත....මිය යන තුරුම .....අලුත් ගඩොල් සුවඳ අප්පච්චිගේ මතකය හිත අස්සට කැන්දන්න එන බව නම් නොරහසකි
     අප්පච්චිට හරි ගැඹුරට ආදරේයි
                  මං,
                        ශානු
       

16 comments:

  1. ගඩොලක කතාව අස්සේ ගඩොලක හිරවෙලා පිච්චිලා රතට රතේ දිදුල දුදුල බබල බබල අලුත් වෙන අප්පච්චිලා කීයකගේ නම් හීන තියෙනවද කියලා මතක් උනා, ගඩොලක මේ කතාව කියවන්න කලින් පෙන්නපු පාරවල් දිගේ එක හුස්මට ඔක්කොම කතා ටික කියවගෙන ගියා. මහාචාර්ය වරයාගේ කතාව ගොඩක් හිත ගත්තේ එතුමා මහාචාර්ය වරයෙක් උන නිසාම නොව එතුමාට මුල අමතකව නොතිබීමත් අලුත් පරම්පරාවන්ට ජීවන සුවඳ බෙදා දීමත් නිසාමයි.

    ශානු අක්කගේ කතාවත් එක්ක ශානු අක්කා ගඩොල් පිච්චෙන කොට එන සුවදත් එක්ක අපච්චිගේ දාඩිය මහන්සියේ සුවඳ අක්කට හොඳටම දැනිලා ඇති නේද? ඒ වගේම අක්ක කියපු උනන කඳුළු කුලුදුල් නොවේය කියලා යේ මොනවට කියනවටද ශානු අක්කේ, මගෙත් ඇස කඳුලින් තෙමුනා, එතකොට අර මාල පොට උකස් කරලා පොලට යන්න බලන් ඉන්න හැටි, ගෙදරින් හම්බ වෙන සත පහ ළමයෙකුගේ ආසාවල් හීන අතික්‍රමණය කරලා ගෙදර දුප්පත් කම පිලිබඳ අනාගත සුබ සිහින පිලිබඳ පොඩි එකාට ලොකු පාඩමක් කියල දුන්නු හැටි, අපුරුයි අක්කා සැබෑ ජීවිත කතාවල් හරිම අපුරුයි, ඒ මොකද මේ අකුරු හුස්ම ගන්නවා අක්කා, ඒ හුස්ම වල හුලන් පහර හිතට හොඳට දැනෙනවා,

    //තවමත් අප්පචිචි නැමති දස මහා යෝධයාගේ මතකය පහුරු ගා අතීත සුවඳ විදිනවාට වඩා සතුටක් මට නැත....මිය යන තුරුම .....අලුත් ගඩොල් සුවඳ අප්පච්චිගේ මතකය හිත අස්සට කැන්දන්න එන බව නම් නොරහසකි// ආයේ මේ ගැන කියන්න වචන නැහැ.

    මට මේ ගඩොලක කතාවල එක්ක සිහියට නිතැතින්ම ආවේ මසිම්බුලයන්ගේ සෙන්කොට්ටන් කතාවමයි, මේ කතාත් ඊට දෙවෙනි නැහැ. කතාවක් වශයෙන් නොව අප්පච්චිලා ගැන ලොකු පාඩමක් මේ කතාව අස්සේ තියෙනවා, හරිම සංවේදියි. ජයවේවා ශානු අක්කා, අක්කට ගොඩක් ස්තුතියි මේ කතාව ලිව්වට.

    ReplyDelete
    Replies
    1. සොමියා මලේ උබේ අදහස් බෙදා ගත්තට ස්තූකි

      Delete
  2. ලස්සනටම ලියලා තියෙනවා........... ඇත්තමයි...........

    ReplyDelete
  3. සීන් එකම කියවලා එන්නම්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  4. මම එක පාර හිතුවේ මම නැති ටිකේ කොටස් දෙක තුනක කතාවක් ලියලා කියලා..

    මටත් වාසනාවට වගේ ලැබිලා තියෙන්නේ හොද හයිය ගඩොලක්.. ඒ ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕන නෑ.. ලියනවනම් සෑහෙන්න ලියන්න පුළුවන්.. තාත්තලගේ ආදරේ අන්න ඒ තරම් අනන්තයි..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....නිකන් ගඩොලක් නෙවේ බං මලේ රත්තරන් ගඩොලක්

      Delete
  5. හරිම සංවේදියි..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා ...ස්තූති

      Delete
  6. ඕනෙම කෙනෙක් ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දේ තමන්ගේ දෙමව්පියන්ගේ ඇස් තුලිනිත් බලන්න ඕනේ. හැබැයි ඒ අය දුටුව ලෝකය දකින්න අපිට ටිකක් අමාරුයි. ඔවුන් අපිට වඩා සමාජය සමග ගැටී ලත් ලෝක විෂයය දැනුම ඉතා ඉහලයි.

    අද අපි පොලොවේ පය ගහලා ඉන්නේ පොතපත දැනුමට ඉහලින් තියන, අපේ දෙමාපියන් අපට දුන්, ගුරුහරුකම් රැසකුත් ආධාර කරගෙනයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම,,,,,විචා මාමා ඒ ගුරැහරැකම් නැත්තම් අපි අද ඉන්න තැන ඉන්න බෑ

      Delete
  7. අප්පච්චි කෙනෙක් කියන්නෙ අහසක් වගේ . සීමාවක් හොයන්න බැරි ඒ ආදරේ විස්තර කරන්න අමාරුයි . හරිම ලස්සනයි ශානු . හිතට තදින්ම දැණුනා .ස්තූතියි මේ වෙනවෙනුවෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මෙතුවෝ....තාත්තලා අහස වගේ

      Delete
  8. ....//අප්පච්චි යෝධයෙක්//.....
    ....//අප්පච්චිට හරි ගැඹුරට ආදරේයි//....

    මේ වචන දෙකන්ම අප්පච්චි ගැන දැනෙන හැගීම මහමෙරක් තරම් කියන එක කියවිලා තියනවා...මගේ දූත් මේ විදියමයි...ඒයාගේ ගැඹුරු ආදරේ තමයි මාව ජීවත් කරවන්නේ.....දූට තවම අවුරුදු 12 යි..මට අසනීපයක් හැදුනම මට උපදෙස් කන්දරාවක් දෙනවා පරිස්සම් වෙන්න කියලා...දූගේ පුංචි වේදනාව මට මහමෙරක් වගේ දැනෙනවා..මගේ පුංචි වේදනාව දූවටත් මහමෙරක් වගේ දැනෙනවා...අප්පච්චිලා දූලා අතරේ මේ ගැඹුරු සෙනෙහස තියනවනම් තාත්තා කෙනෙක් කවදාවත්ම තමන්ගේම දුවගෙන් කාමාශාවන් සංසිදවා ගන්න හදන්නේ නැ වන මෘගයෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. හෑ මනෝ අංකල් ඇත්ත කතාව...දුවලා ආදරේ තාත්තලට කියන්නේ කට කහනවටද?ඔය සෙනෙහසට තෙරැවන්සරණයි!

      Delete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!